බුදු දහමේ දැක්වෙන අන්දමට පියවි ඇසට නොපෙනෙන ධාතු වර්ගයකින් නිර්මිත විවිධ ප්‍රමාණයේ රූපකායකින් යුක්ත සත්ත්වයන් කොට්ඨාසයක් "ප්‍රේත" හෙවත් "පෙරේත" යනුවෙන් හඳුන්වයි. පොදු ව්‍යවහාරයේදී මොවුන්ගේ ගැහැණුන් හඳුන්වන්නේ, "පෙරේතියන්" යනුවෙනි. සත්ත්වයන් උප්පත්තිය ලබන අතිශයින් කටුක සහ දුක්ඛිත ලෝක වන "නරක" හතරෙන් එකක් වන්නේ ද "ප්‍රේත නරකයයි".සමහර ප්‍රේත ආත්මයන් මිනිස් ලෝකයට සමාන්තර අවකාශයක් ද සිය වාසස්ථානය වශයෙන් යොදා ගනී. ඊට අමතරව තිරිසන් සතුන් වෙසෙන තැන් හා ඉන් පරිබාහිර වෙනත් කටුක තැන්වල වුවද ඔවුන්ට වාසය කිරීමට හැකියාව ඇත. ප්‍රේතයන්ට ඇත්තේ මිනිසාට අදෘශ්‍යමාන වන රූපකායකි. ඔවුන් බිහි වන්නේ මව් කුසකින් නොවීම (ඕපපාතිකව) ද සුවිශේෂී ලක්ෂණයකි. පෙරේත ආත්මයක උත්පත්තිය ලබන්නන්ට ආහාර නොමැතිව හෝ පානය කිරීමට ද දිය බිඳක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඒ නිසා ඔවුන්ගේ සිරුර අතිශයින් කෘශ වූ විරූපී එකක් බවට පත්වී ඇත. එසේම විලිවසා ගැනීමට වස්ත්‍ර නොමැති නිසා ඔවුන්ට නිරුවතින් සිටීමද විශේෂත්වයකි. මෙම අමනුෂ්‍යයින් ගත කරන්නේ ද අතිශයින් ම පිළිකුල් සහගත අපිරිසිදු ජීවිතයකි. සමහර අවස්ථාවලදී කුසගිනි දරාගත නොහැකිව ඔවුන් මිනිසුන්ගේ මල, මුත්‍ර, කැහි, සොටු සහ කබ පවා ආහාර වශයෙන් ගන්නා බවට මිනිසුන් තුළ විශ්වාසයක් පවතී.
මනුෂ්‍ය ජීවිතයක් ගත කළ කාලයේදී දන් නොදුන් සහ ලෝභ පුද්ගලයින් මියගිය පසුව සිය වස්තුවට තණ්හාවෙන් එකී වාසස්ථානවලම පෙරේතයන් වශයෙන් උත්පත්තිය ලබන බවට ජනතාව විශ්වාස කරනු ලබයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී ඔවුන්ව හඳුන්වනු ලබන්නේ "මල පෙරේතයන්" වශයෙනි. පාළු වූ නිවාස සහ ඉතා අපිරිසිදු මිනිස් වාසස්ථානවලද පෙරේතයන් ලැගුම් ගන්නා බව සාමාන්‍ය මිනිසුන් අතර විශ්වාසයක් පවතියි. එවැනි ස්ථාන "පෙරේත විමාන" ලෙස හඳුන්වන අතරම මෙම ප්‍රේත ආත්ම උදෙසා පෙරේත තටු පිදීම ද ගම්වල වැසියෝ සිදු කරති. බොහෝ විට තුං මං හන්දිවල මෙලෙස ප්‍රේත තටු පිදීම සිදු කරයි.
5 comments:
👍👍👍
thanks me thorathuru walata
❤️
❤️
💝
Post a Comment