Search This Blog

Showing posts with label දේව සංකල්ප. Show all posts
Showing posts with label දේව සංකල්ප. Show all posts

Saturday, October 12, 2024

කොහොඹා කංකාරියේ එන කොහොඹා දෙවිවරු..

උඩරට නැටුමේ මුදුන් මල්කඩ ලෙස පිදුම් ලබන කොහොඹා කංකාරියේ එන කොහොඹා දෙවිවරු තුන් කට්ටුවක් සිටින බව සඳහන් වන්නකි. හෙළ දේව වංශයේ කොහොඹා දෙවිවරු තිදෙනෙක් ගැන කියැවේ. ඒ "පරණ කොහොඹා" , "මහ කොහොඹා" සහ "අලුත් කොහොඹා" යන තිදෙනාය. මොවුන් "කොහොඹා තුන් කට්ටුව" යනුවෙන් ද හඳුන්වනු ලබයි. මේ තුන් කට්ටුව ඉන්දියාවේ සිට ලක්දිවට සංක්‍රමණය වී ඇති බැව් "කොහොඹා කංකාරියේ සඳහන් වේ. කොහොඹා දෙවියන්ගේ උප්පත්තිය පිළිබඳව විවිධ මතිමතාන්තර පවතී. 

රාවණා විසින් සීතාව පැහැරගෙන ගිය බවට ජනප්‍රවාදය තුළ මතයක් පවතී. එසේ පැහැරගෙන යාම නිසා සීතාගේ පතිවත පිළිබඳව විශ්ණුට සැක පහළ වෙනවා. ඒ නිසාම සීතාව වනය තුළද මරා දැමීමට සමන් දෙවියන්ට භාර කරනවා. නමුත් සමන් දෙවියන්ට සීතාව මැරීමට කැමති වෙන්නෙ නෑ. ඒ නිසා සමන් දෙවියන් සීතාට  අභය දානය දී ඇති බැව් සඳහන් වෙනවා. නමුත් විශ්ණුගේ ඉල්ලීම ඉෂ්ඨ කළ බව ඇඟවීමට වෙන අයෙකුගේ ලේ වලින් කඩුව තෙත් කරගෙන ගොස් විශ්ණුට සීතා මැරූ බව දන්වලා තියෙනවා. 

මේ අතරතුර සීතා වනයක කල් ගෙවන විට සීතා ගැබ් ගෙන සිටි නිසා වනය තුළදීම දරුවා බිහි කරන්නට සිදු වෙනවා. ඇයට ඍෂිවරයෙක් වනය තුළදී තමන්ගේ ආශ්‍රමයේ කාන්තාවන් ලවා උදව් උපකාරද ලබා දෙමින් දරුව හදා වඩා ගැනීමට සහය වෙනවා. දිනක් සීතා දේවිය ඵලවැල නෙලීමට වනයට ගිය අතරතුර තොටිල්ලේ සිටි දරුවා තොටිල්ලෙන් බිමට වැටෙනවා. දේව දරුවන් මිනිසුන්ට ඇල්ලීම අකැපැයි ලෙස සීතූ ආරාමයේ සිටි ඍෂිවරයා තොටිල්ලට මානෙල් මලක් දානවා. ඒ මලෙන් තවත් කුමරෙක් ඉපදෙනවා. ඵලවැල නෙලාගෙන ආරමයට පැමිණි සීතා දෙවිය මෙය දැක තොටිල්ල යට සිටි දරුවා දැක ඍෂිවරයාගෙන් දරුවන් දෙදෙනා ගැන විමසනවා. ඍෂිවරයා තවත් දරුවෙන් මවල පෙන්වනවා සීතා දේවියට. මේ සීතා දේවිය දරුවන් තිදෙනාම ඇති දැඩි කරනවා. මලෙන් උපන් කුමරෙකුත් සිටි නිසාවෙන් මලෙන් උපන් කුමරු සමඟ ඇති දැඩි උනු අනිත් කුමාරවරුන් දෙදෙනාත් ඇතුළුව මේ තිදෙනා මලේ දෙවිවරු තුන් කට්ටුව ලෙස  හඳුන්වනවා. කොහොඹා දෙවියන් ලෙස හඳුන්වන්නේද මේ මලේ දෙවියන්ට බවට මතයක් ජනප්‍රවාදය තුළ පවතී. එමෙන්ම කොහොඹ ගහට අධිපති නිසාවෙන් කොහොඹ දෙවියන් ලෙස හඳුන්වන බවද කියැවේ. 

එමෙන්ම මේ කොහොඹ දෙවියන්ගේ උප්පත්තිය  පිළිබඳව තවත් මතයක් පැවතෙනවා. දඹදිව බරණැස් නුවර රජතුමාගේ දුව චන්ද්‍රවතී කුමරියත් කලිඟු රටේ රජතුමාගේ පුත් සුරඹා කුමරුන් අතරත් රහස් පෙම් පලහිලව්වක් ඇති වෙනවා. කාලයාගේ ඇවෑමෙන් චන්ද්‍රවතී කුමරිය ගැබ් ගැනීමක් සිදු වෙනවා. ඒ නිසාම කුමරුත් කුමරියත් යන දෙදෙනාම රහසේම කැලයට පලා යනවා. ඒ යන අතරතුරේදී කොහොඹ ගහක් යටදී මේ දරුවා බිහි කරනවා. කොහොඹ ගසක් යට උපන් හෙයින් මේ පුත් කුමාරුන්ට කොහොඹ දෙවියන් ලෙස පවසන බවට මතයක් පවතී.

මහා යාතිකාවේ සඳහන් වන ආකාරයට කොහොඹා දෙවි තුන් කට්ටුවේ එන අලුත් කොහොඹා ස්වේදේශීය දේවාත්මයක් වන අතර ලක්දිව වැලිහෙල නම් ප්‍රදේශයේ උපත ලැබූවෙකි. පරණ කොහොඹා ඉන්දියාවේ මධුරාපුර නුවර උපන්නෙක් වන අතර මහා කොහොඹා බරණැස්පුර උපන්නෙක් බවත් මහා යාතිකාවේ කියැවේ. 

වැලිහෙල නම් ගමේ උපන්නෙක් වන අලුත් කොහොඹා දෙවියන්ගේ මව වෙළඳ කුලයක උපන් ලෝකනාථා නම් කතකි. කොහොඹා කුමරු සත් අවුරුදු වයස සපුරන විටම තම දෙමාපියන් හැර යන බවට නැකැත්කරුවන් පවසා ඇත. කොහොඹා දෙවියන්ට ආදීවාසීන් සමඟ ද සබඳතාවක් පවතින පුරාවෘත්තවල සඳහන් වේ. 

කොහොඹා යකා ලෙසද හඳුන්වන කොහොඹා දෙවියන් සඳහා පවත්වනු ලබන අභිචාර විධිය කොහොඹා ශාන්තිකර්මයයි.  ඇතැම් පෙදෙස්වල කොහොඹා යක්කම යනුවෙන් ද මෙම අභිචාර විධිය හඳුන්වනු ලබයි. සතර කෝරළය, සත් කෝරළය, උඩුනුවර, යටි නුවර, හාරිස්පත්තුව, දුම්බර ආදී ප්‍රදේශවල මෙම  ශාන්තිකර්මය බහුලව සිදු කෙරේ.

Friday, October 11, 2024

භවයන් දහතුනකදී ඉපිද යන එන මං අහිමි වූ මංගර දෙවියෝ

"මංගර" එහෙමත් නැත්නම් මංගාර නමින් හඳුන්වන දෙවියන් අතීතයේ කැලෑබද ප්‍රදේශයන්වල ජීවත් වූ මිනිසුන් මෙන්ම තමන් ඇති කරන සතුන්, හරකා බාන ආදිය වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට පිහිට පැතූ දෙවි කෙනෙකු විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම රුහුණු පුරයට බිංතැන්න ප්‍රදේශයට අණසක පතුරුවන ප්‍රාදේශීය දෙවි කෙනෙකු ලෙසත් සැලකෙන මංගර දෙවියන් ගව පට්ටලවලට හා කිරි එළදෙනුන්ට සම්බන්ධ දෙවි කෙනෙකු ලෙසත් දඩයක්කරුවන්ගේ දෙවියන් ලෙසත් සලකේ. මිනිසුන්ට නොපෙනී ගොපල්ලකු මෙන් ගවයන් පසු පස යන බවට ජනයා අතර විශ්වාසයක් පවතී. පෙර කල රුහුණේ මී කිරි කර්මාන්තය රඳා පැවතුණේ මෙම දෙවියන් කෙරෙහි තබා ඇති විශ්වාසය පදනම් කරගෙන බව ද පවසයි. මංගර දෙවියන්ගේ ද උප්පත්තිය පිළිබඳව විවිධාකාර මතිමතාන්තර ඇති අතර ඇතමෙකු මෙම දෙවියන් ඉන්දියාවේ උපත ලද්දකු ලෙසින් ද, තවත් සමහරකු  ලංකාවේ උපත ලැබූ අයකු බව ද සඳහන් කරයි. වඩාත් ප්‍රචලිත ව ඇත්තේ ඔහු ලක්දිව මායා රටේ උපත ලද්දකු ලෙසින් ය.  

පහතරට ශාන්තිකර්ම තුළ සුවිශේෂී ස්ථානයක් මෙම මංගර දෙවියන් හිමි කරගෙන සිටියි. අතීතයේ  පුද පූජා කිරීමට මෙම දෙවියන්ට නිශ්චිත දේවාලයක් නොමැති වුවත් වර්තමානය වන විට මීගමුව, කදිරගොඩ, බලන්ගොඩ ආදී ප්‍රදේශවල මංගර දෙවියන් උදෙසා ඉදිවූ දේවාල කිහිපයක් පවතියි. එමෙන්ම කදිරගොඩ ප්‍රදේශයේ මංගර දෙවියන් උදෙසා මී ගවයෙකු සරසා පෙරමුණේ තබන වාර්ෂික පෙරහැර මංගල්‍යයක් සහ මංගර මඩුව නමින් දේව යාගයක් ද පවත්වනු ලැබේ. 

මංගර දෙවියන්ගේ උත්පත්ති වාර දහ තුනක් පිළිබඳ මංගර කන්නලව්වේ සහ මංගර සැහැල්ලේ සඳහන් වේ. ආත්මභවයන් කිහිපයකදීම මතු බුදු බව පතා ඇති බව ද එහි කියැවේ. එහි එන එක් උප්පත්ති කතාවක් නම් අඳුන්ගිර පර්වතයෙහි සිල් රකින පත්තිනි දේවියගේ සීල් බලය විමසාලීමට පැමිණි ශක්‍රයාට දන් දීමට අඳුන්ගිරි පර්වතය පයෙන් මඬ කොට එහි සුවඳ ඇල් වී ඉස ඉන් ලද අස්වැන්න නෙළා රන් බඳුනක දමා ගරන විට එහි තිබී හමු වූ මුතු ඇටයකින් සිදු වූ උපතයි.  

එමෙන්ම මංගර දෙවියන්ගේ දහතුන් වන ආත්මයේදී  මී ගවයෙකුගෙන් පහර කා මිය ගිය පසු නැවත ඔහුගේ පණ ලබා ගැනීමට කිරි ඉතිරවීමට අවශ්‍ය වූ විට ඊට අවශ්‍ය කහ ලබා දී ඇත්තේ පත්තිනි දේවිය විසින් බව සඳහන් වේ. මංගර දෙවියන්ගේ උත්පත්තිය සමඟ පත්තිනි දේවතාවියගේ සමීප සබඳතාවක් ඇති බව මින් ප්‍රකට වන්නකි. එමෙන්ම මංගර දෙවියන්ගේ උප්පත්ති වාර දහතුනට අනුව, එක් වරක් පත්තිනි දේවිය විසින් ගරන ලද සහල්වල තිබී හමු වූ මුතු කැටයක් මඟින් ද, කිතල්වර නම් රජෙකුගේ උර මඬල පලාගෙනද, මහාකෙල නම්  නා රජුගේ චින්තා මාණික්‍යයෙන්ද, ශක්‍රයාගේ රන්පොත ලියූ රුවන් පන්හිඳේ මුදුන් කොත් මාලාවෙන්ද, ජලයෙන් ද, අනෝතත්ත විලේ මානෙල් මල් දහසකට මැද්දේ වූ  මුදුන් මලේ රේණුවකින් ද, මායා රටේ මායා රජුට දාව අග බිසවගේ කුසින් ද, තරු රැසින්ද, දිය නළයෙන් ද, සඳ රැසින් ද, හිරු රැසින් ද, අකුණකින් ද සහ දහතුන්වන වර මායා රජුගේ අග බිසවගේ කුසින් "බුදු සිරු" නමින් ද උපත ලද බව කියැවේ. 

පුංචි සන්ධියේ සිටම කැලයට ගොස් වන සතුන් සමඟ ඇති දැඩි වූ බුදු සිරු දඩයමට මෙන්ම වන සතුන් ඇල්ලීමට ද බොහෝ දස්කම් පෑ අයෙකි. බුදු සිරුගේ දස්කම් ලොව පුරා පැතිර ඇත. මේ අතරතුර කදිරාගොඩ නම් ප්‍රදේශයේ මිනිසුන්ට හානි කරමින් සැරිසරන කුළු මීමෙකු පිළිබඳ සැල වූ බුදු සිරු පිරිවරද සමඟින් නැව් නැග විත් උස්සන්ගොඩින් ලංකාවට ගොඩබැස ඇති බව සඳහන් වේ. 

උස්සන්ගොඩ සිට කදිරාගොඩ ප්‍රදේශයට පැමිණි මංගර සහ පිරිස මහන්සි හැරීමට නුග සෙවණක නතර විය. එම පිරිසෙහි සිටි එඬේර කුමරෙකු කුළු මීමා පිළිබඳව සෙවීමට පිටත් කොට බුදු සිරු ඇතුළු අනෙක් පිරිස එම නුග ගසෙහි තිබූ මියක් කැඩීමට ප්‍රයත්න දැරූවද එය ද කළ නොහැකී වූ නිසා බුදු සිරු විසින් නුග ගස කපා මීය පිරිස අතරේ බෙදා ඉන් කොටසක් එඬේර කුමරුන්  හටද ඉතිරි කොට තිබුණි. 

පෙර කලෙක උපන් කිරි වෛරයක් හේතුවෙන් පලි ගැනීමේ අදහසින් බුදු සිරු පැමිණෙන තෙක් ඔහුගේ සහෝදරයා නුග ගසෙහි අරක් ගෙන සිටි අතර නුග ගස කැපීමත් සමඟ කෝපයට පත් ඔහු මීමෙකුගේ වෙස් ගෙන අසල සිටි ගව රැළකට ඇන මරා දමන්නට විය. බුදු සිරු එය දැක මංගර මන්ද ගෙන මීමා ඇල්ලීමට උත්සාහ කළ ද මීමා බුදු සිරු ඇතුළු සහචර පිරිසට ද ඇන මරා දැමුවේය. කුළු මීමා පිළිබඳව සෙවීමට කදිරගොඩට ගිය එඬේර කුමරුන් මෙය දැක කෝපයට පත්ව සිය පිරිවර මැරූ පලිය ගැනීමට මීමා සමඟ සටන් කොට මීමා මරා දැමීය. 

මරන ලද මීමාගේ කකුල් හතර කණු ලෙසට ගෙන ඉල ඇට යොදාගෙන කිරි මැස්සක් සාදා දණහිස්වලින් ලිප්ගල් බැඳ, මීමාගේ සම උඩු වියනටද බැඳ, බඩවැල් වටතිරයට ගත් එඬේර කුමරුන් මීමාගේ හිස් කබල කිරි හාලියටත් ගෙන මීමාගේ මොළය මිරිකා ගත් දියරයෙන් කිරි ඉතිරවීය. ඊට අවශ්‍ය කහ පත්තිනි දෙවියන් විසින් ලබා දුන් බවද කියැවේ.  එසේ උතුරවන ලද කිරි පිරිසට ඉසීමෙන් බුදු සිරු ඇතුළු පිරිස නැවත ජන්මය ලද අතර එතැන් සිට බුදු සිරු මංගර නම් විය. මිය ගිය මීමාගේ ඇටකටු, සම් ආදියට ද කිරි ඉසීමෙන් මීමා ද යළි ජීවය ලද අතර එතැන් පටන් මීමා මංගරගේ වාහනය බවට පත් විය. කිරි ඉතිරවීමේ ආරම්භය ද මෙය බවට සැලකෙන අතර සබරගමු සම්ප්‍රදායේ කිරිමඩු ශාන්තිකර්මය සැකසී ඇත්තේ ද මෙය පදනම් කොට ගෙන බව සැලකේ. එමෙන්ම ගොපළු යකා ලෙස ගව පාලනයේදී හඳුන්වන්නේ එඬේර කුමරුන් බවට ද විශ්වාසයක් පවතී.

Thursday, October 10, 2024

සීනිගම දෙවොලේ වැඩ සිටින දෙවොල් දෙවියන්ගේ වතගොත

 
බස්තම වමතට දරණ දෙවින්දා

ලස්සන ඇඳුමින් සැරසි රජින්දා 

උස්සන පන්දම සුරතෙහි රන්දා

ඇස්හැර යන්නට වඩිනු නිරින්දා 

හින්දු දහමෙහි ආභාසය සහිතව මෙරට සංස්කෘතියට පැමිණි දෙවියන් සමූහයක් බව සඳහන් වෙයි. දෙවියන් හත් දෙනෙකුගෙන් යුත් කට්ටුවක් නිසා "දෙවොල් සත් කට්ටුව" වශයෙන් හඳුන්වනු ලබයි. මෙම සත් කට්ටුව සහෝදරයන් වන බව උත්පත්ති කතාවල සඳහන් වේ. දෙවොල් සාමි, අලුත් බණ්ඩාර, මහා සාමි, සඳරැස් සාමි, තෙදරැස් සාමි සහ ගගේ බණ්ඩාර යනු එම සත් කට්ටුවයි. 

මෙම සත් කට්ටුව ඉන්දියානු ප්‍රාන්ත රජ කෙනෙකු වූ රාමසිංහ නම් රජුට දාව ඔහුගේ බිසෝවරුන් සත් දෙනෙකු විසින් බිහි කරන ලද දරුවන්ය. කුඩා කල සිටම දුසිරිතට යොමු වුනු මෙම කුමරුන් සත් දෙනා තරුණ වියට එලඹෙන්නටත් පෙර සිටම දඩබ්බර චරිත විය. මොවුන් රට වැසියන්ට කරන අකටයුතුකම් ගැන කෝපයට පත් වූ රාමසිංහ රජතුමා ඔවුන් සියලු දෙනාම රටින් පිටුවහල් කරන්නට විය. ඉන් පසු එම  කුමාරවරුන් සත් දෙනා තම සහචර පිරිසක්ද සමඟින් නැව් නැඟ ලක්දිව සීනිගම වෙරළට පැමිණියහ. නමුත් එකල එම ප්‍රදේශය භාරව සිටි පත්තිනි දෙවියන්ගෙන් මෙම පිරිසට ලංකාවට පැමිණීමට අවසර නොලැබුණි. පත්තිනි දේවිය ඔවුන්ගේ ගමන වළක්වාලීමට එකිනෙකා ඉදිරියේ ගිනි ජාලා හතක් මවන්නට විය. නමුත් දෙවොල් කුමාරවරු සත් කට්ටුව ඒ ගිනිමැල හත පාගා නිවා දැමීමට ද සමත් විය.

ඉන් අන්තුරුව පත්තිනි දෙවියන්ගේ අණද නොතකා ඔවුන් සීනිගම සිය වාසස්ථානය බවට පත් කරගන්නට විය. එතැන් පටන් පෙර කළ කී ලෙසටම යළිත් සුපුරුදු දාමරික ක්‍රියාවල යෙදීමෙන් කතරගම දෙවිවුන්ගේ දේව උදහසටද ලක් විය. එවිට ඔවුන්ගෙන් එක් අයෙකුට හැර අනෙක් සියලු දෙනාට සීනිගම අතහැර වෙනත් ප්‍රදේශවලට යන ලෙසට කතරගම දෙවියන් අණ කරන ලදි. ඒ නිසා එක් අයෙකු සීනිගම නතර වූ අතර ඉතිරි කුමරුන් සය දෙනා සිය පිරිස සමඟ ලංකාවේ වෙනත් ස්ථාන හයක පදිංචි විය. එලෙසින් පසු කාලයේදී ඔවුන් දෙවොල් දෙවියන් හත් කට්ටුව බවට පත් විය. 

දෙවොල් දෙවියන් තමන් කරා පැමිණෙන පිරිසට උදවු උපකාර කරනුයේ විරුද්ධවාදියෙකුගෙන් පළි ගැනීමට හෝ දඬුවම් කිරීමට බව අසන්නට ලැබේ. ඒ ඔවුන් සතු දුර්ගුණයන් ඉස්මතු වීම නිසා බව පෙන්වා දී ඇත. මේ නිසාම දෙවොල් දෙවියන් කෝපයට පත් වූ විට තමන්ට ආවතේව කරන කපුවාද මරා දැමූ අවස්ථා ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි.

දෙවොල් දෙවියන්ගේ උප්පත්තිය ගැන තවත් කතාවක් නම් දෙවොල් දෙවියන් දඹදිව රාමසිංහ රජුගේ මහාසාමි නම් පුතෙකු බවයි. මෙම රජතුමා තම පුතු නැවකට ගොඩකරවා රටින් පිටුවහල් කළ පසු අතරමඟදී යාත්‍රාව බිඳී විශ්මකර්මයකින් වැනි මවන ලද පහුරක් ආධාරයෙන් ලක්දිව යාපා පටුනට ගොඩ බැස ඇති බවයි. එමෙන්ම එහිදී නාථ දෙවියන් විරෝධය පෑම නිසාවෙන් හික්කඩුව, සීනිගම ප්‍රදේශයට පැමිණි බවත්ය. සීනිගම දෙවොල් පුරාවෘත්ත කතාවල දැක්වෙන අයුරින් දෙවොල් දෙවියන් ලංකාවේ සථාන හතකදී එලවා දැමූ බව පැවසේ. නාථ දෙවියන් යාපා පටුනේදීද, කතරගමදී කතරගම දෙවියන් විසින් ද, සමනල් කන්දේදී සුමන සමන් දෙවියන් ද දෙවුන්දර තුඩුවේදී විශ්ණු දෙවියන් විසින් ද, ගිනිතොට සහ උඩුගල් පිටියේදී මහා බ්‍රහ්මයා විසින් ද රිටිගල් දේවොලේදී රිටිගල් බණ්ඩාර දෙවියන් විසින් ද පලවා හරිනු ලැබ ඇති බව සිංහල දේව පුරාණයේ සඳහන් වේ. හික්කඩුව ප්‍රදේශයට මුහුදේ ප්‍රධාන දෙවොල් දේවාලය පිහිටා තිබෙන අතර උණවටුන, රූමස්සල, වේරගොඩ, අමනාවල දෙවොල් දේවාල පවතී.

Tuesday, October 8, 2024

වන්නිකරයේ ගැමියා අතර ගරු බුහුමානයට පත් අයියනායක දෙවියන්...

සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරී                     ම

කෙම්වර දවස්වල පානින් සැරසී                 ම

වන අතු කඩා ගස් දෙබලක දැවටී               ම

මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම

අතීතයේ මෙන්ම වර්තමානයේදීත් පුත්තලම පෙදෙසේ උතුරු කොටසෙහි මන්නාරම තෙක් ප්‍රදේශයන්හි ජීවත් වන ග්‍රාමීය ජනයාගේ එකම ගැලවුම්කරුවා ලෙසින් අයියනායක දෙවියන් ගරු බුහුමානයට පාත්‍ර විය. කරේනාර්, අයියානාරේ, අයියානාථ, කයියනාර්, හරිහරපුත්ර, මහා සාස්තා යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වනු ලබන්නේද මෙකී අයියනායක දෙවියන්මය. රාජ වන්නිය සහ කුමාර වන්නිය යන ප්‍රදේශ ද්විත්වයටම බලපරාක්‍රමය විහිදුවාගෙන සිටිනුයේ අයියන්නායක දෙවියන්‍ ය. 

අයියනායක යනු ගම්පල යුගයේ බුවනෙකබාහු රජ කාලයේ ආර්ය පිරිසක් සමඟ ලංකාවට පැමිණි අයෙක් බව වන්නියේ ජනයා අතර විශ්වාසයක් පවතී. අයියනායක යන නාමය ද්‍රවිඩ නාමයක් බවත් වන්නි පුවත් ලියූ අය ද ද්‍රවිඩයන් බවත් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ඔවුන් ආර්යයන් බව හැඟවීමටත් , තමන් සමඟ පැමිණි දෙවියන්ට මේ රටෙහි ගරුත්වයක් ලබාදීම බවත් ඇතමෙකුගේ අදහසක් වේ.මෙලෙසින්ම අයියනායක දෙවියන් පිළිබඳව විවිධ මතිමතාන්තර පවතින අතර උපත්තිය සම්බන්ධයෙන් ජන්ප්‍රවාදයේ එන කතාවක් මෙලෙස දැක්විය හැකිය. 

හිමාල පර්වතයේ විසූ එක් ඍෂිවරයෙක් "ඊශ්වර දැහැන" මන්ත්‍රය ඉගෙන ගෙන ඉන් උමා දේවිය වශී කර ගැනීමට ඇය පසු පස හඹා ගියේය. විශ්ණු දෙවියන් මෙය දැක ස්ත්‍රී වෙසක් මවාගෙන ඍෂිවරයා යන මග ගසක අත්තක බැඳි ඔංචිල්ලාවක් පදිමින් සිටින්නට විය. ඔංචිල්ලාව පදින තරුණිය දුටු ඍෂිවරයා උමා දේවිය පිළිබඳ අදහස  අතහැර ඔංචිලි පදින තරුණිය කරා ඇඳී ගියේය. එවිට මේ ඍෂිවරයා තමන්ගේ උගුලට හසුවූ බව දැනගත් හෙයින් සිය අතෙහි කුඩු බිළිඳකු මවා පා තිබේ. ඉන් ලැජ්ජාවට පත් ඍෂිවරයා වෙනතකට ගිය අතරම, එසේ ජන්මය ලද කුමරුන් "කරේනාරේ" ලෙසට නම් තබන්නට විය. ඒ දකුණු අතින් උපන් හෙයිනි. පසුව එම නාමය කයියනාරේ , අයියනාරේ, අයියනායගම්, අයියනායක ලෙස ක්‍රමිකව වෙනස්ව වත්මනයේ හඳුන්වන අයියනායක යන නාමය ලැබී ඇති බැව් ජනප්‍රවාදයේ සඳහන් වන්නකි.  

එමෙන්ම ශිව-විශ්ණු දෙදෙනාගේ සම්බන්ධයේ ප්‍රතිඵලය අයියනායක බවටද ගම්මුන් අතර මතයක් පවතී. එමෙන්ම ඊශ්වර දෙවියන් මෝහිණිය දැක ඇය කෙරෙහි කාමාශාවෙන් වැළඳගැනීමෙන් දරුවකු උපන් අතර ඔහු හරිහර නමින් ප්‍රකට වූ අතර පසුව අයියනායක විය. මෙලෙසින්ම අයියනායක දෙවි කවිවලට අනුව උපුල්වන් දෙවියන්ගෙන් වරම් ලබාගෙන මෙහි පැමිණි බවටත්, ඔහු උපුල්වන් දෙවියන්ගේ බලයෙන් මවගේ දකුණු ඇලය පලාගෙන උපන් බවත් කියැවේ. 

එමෙන්ම අයියනායක මෙහි පැමිණ ඇත්තේ උපුල්වන් දෙවියන්ගෙන් වරම් ලබාගෙන වුවද බුදුන් වහන්සේගෙන් ලොව ආරක්ෂා කිරීමට අවසර ලබාගත් බව කියැවෙන කෝල්මුර ද ඇත. ඔහු ඉන්දියාවේ මධුර නුවරින් පැමිණ ලංකාවේ යාපනයෙන් ගොඩ බැස තිබේ. මල්වරා දේශයේ උපන් බව කියන මොහු විශ්ණු දෙවියන් විසින් වැව් බැඳි රාජ්‍යයේ ගොවිතැන් කටයුතු දියුණු කිරීම සඳහා යන ලෙස නියම කොට ඇත. ඔහු එවිට තවත් සත් දෙනෙකු කැඳවාගෙන යාපා පටුනට පැමිණි බැව් ජනප්‍රවාදයන් තුළ සඳහන් වේ. කුමාර වන්නි පත්තුවට අයත් වේලාසිය නම් ස්ථානය අයියනායක දෙවියන්ගේ ප්‍රධාන දේවාලය ලෙස සැලකේ. මෙහි අවුරුද්දකට වරක් විශාල උත්සවයක් පවත්වන අතර එහිදි අයියනායක දෙවියන් වෙනුවෙන් දේව දානයක් හා අඩුක්කු මංගල්‍යයක් ද පවත්වනු ලබයි. 

අයියනායක දෙවියන් මුළු වන්නියටම අරක් ගත් දෙවියන් වන අතර ඔහු පිදීමට විවිධ ස්ත්‍රෝත්‍ර, බුලත් මඬේ, බුලත් තිහං, බුලත් පිදුම් වැනි විශේෂ පූජා චාරිත්‍ර කරනු ලබයි. මොහුහේ ආයුධය වූ කලී ගිනි සළඹක් වන අතර වාහනය සුදු ඇතෙකි. කාල වර්ණයෙන් යුත් දේහයකට උරුමකම් කියන අයියනායක දෙවියන්ට ගෞරව දැක්වීමට මුට්ටි මංගල්‍යය, වැව් අලුත් සහල් මංගල්‍යය ආදිය පවත්වනු ලබයි.

Sunday, October 6, 2024

දැඩිමුණ්ඩ දෙවියන්

දැඩිමුණ්ඩ දෙවියන් යනු අතීතයේ මෙන්ම ව‍ර්තමානයේදීත් ශ්‍රී ලාංකිකයන් අතර බොහෝ ප්‍රසිද්ධියට පත් දෙවියෙකි. දැඩිමුණ්ඩ දෙවියන් වාසය කරනුයේ අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයේය. එම ස්ථානය ද ශ්‍රී ලාංකිකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට සහ ප්‍රසාදයට ලක් වන ස්ථානයකි. මෙම දැඩිමුණ්ඩ දෙවියන් පිළිබඳව ජනයා අතර විශ්වාසයන් පවතී. සිදුහත් කුමරුන් ගිහිගෙයින් නික්ම  දුෂ්කර ක්‍රියා අවසන් කිරීමෙන් පසු ඇසතු බෝ රුක මුල බවුන් වඩන විට එතැනට ආ මාර සේනාව බෝසතාණන්ට විවිධාකාර හිරිහැර කරන්නට විය. එවිට එම ස්ථානයේ රැස්ව සිටි බොහෝ දෙවිවරුන් මාර සේනාවට බිය වී පළා යන විට එක් දෙවියෙකු පමණක් ඉතිරිව සිට බෝසතාණන්ට ආරක්ෂාව සැපයීමට සිට ඇත. එලෙස කරදර හමුවේ දැඩි චිත්ත ශක්තියකින් යුක්තව සිටි නිසා එතැන් සිට එම දෙවියන් "දැඩිමුණ්ඩ" යන නමින් හඳුන්වන්නට විය.

එමෙන්ම මෙම දැඩිමුණ්ඩ දෙවියන් අතෙහි රත්‍රන් සැරයටියක් දක්නට ඇත. සුදුමල් දැඩිමුණ්ඩ දේවතා බණ්ඩාර හෙවත් වීර විකුම්  දේවතා බණ්ඩාර නමින් හඳුන්වන්නේද මෙම දෙවියන්‍ ය. දැඩිමුණ්ඩ දෙවියන්ගේ එඩිතරකම නිසාම වෙසමුණි විසින් උපුල්වන් දෙවියන්ගෙන් ඉල්ලීමක් කරනවා දැඩිමුණ්ඩ දෙවියන්ට ලංකාවෙන් වාසභවනක් සකස් කරල දෙන ලෙසට. ඊට කැමැත්ත ලැබුණු නිසාවෙන් වෙසමුණි රජුගෙන් අවසර ගෙන මෙම දෙවියන් ලංකාවට පැමිණි බව කියවේ.

දැඩිමුණ්ඩ දෙවියන් ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ද ජන්ප්‍රවාද කතා ඇත. මෙම දෙවියන් ලංකාවට පැමිණීමෙන් අනතුරුව සිය වාසභවන නැතහොත් දේවාලයක් සෑදීමට භූමියක් සොයමින් සිටින විට කන්ද උඩරට ප්‍රදේශයට කැමත්තකින් පසු වෙනවා. සතර කෝරළයේ මැද පිහිටි කිරුගන්දෙනියට ගොස් තමන්ගේ රන් සැරයටිය ගල් ලෙනක් තුළ තැන්පත් කිරීම සිදු කර ඇත. ඉන්පසුව උඩරට පාලනය කළ රජුගේ කිරිපට්ටියේ දෙනුන්ගේ කිරි ලේ බවට පත් කොට විශාල කලබලයක් ඇති කරනවා. එදින රාත්‍රියේ රජු සිහිනයක් දැක, කිරගන්දෙනියට ගොස් දැඩිමුණ්ඩ දෙවියන්ගේ රන් සෝලුව/ රන් සැරයටිය තිබුණු ස්ථානය එළි කොට අලුත් නුවරකුත් සෝලූව තිබූ ස්ථානයෙහි තුන් මහල් පායකුත් නිර්මාණය කොට ඇති බවට ජන්ප්‍රවාදයේ සඳහන් වෙනවා.

අලුත් නුවර දේවතා බණ්ඩාර, මැණික් බණ්ඩාර,  ඌවේ බණ්ඩාර, කීර්ති බණ්ඩාර ආදී නම් කීපයකින් දැඩිමුණ්ඩ දෙවියන් හඳුන්වනු ලබයි. කතරගම දෙවියන්ගේ සෙන්පති, වෙසමුණි රජුගේ මුණුබුරෙකු වශයෙනුත්, උපුල්වන් දෙවියන්ගේ අධිකාරම් වශයෙනුත් විවිධ මුහුණුවර ඔස්සේ දැඩිමුණ්ඩ දෙවියන් ජනයා අතර ප්‍රසිද්ධියට පත්ව තිබේ. වර්තමානයේ දැඩිමුණ්ඩ දෙවියන්ගේ දෙවොල වන අලුත් නුවර දේවාලය ඉදිරියේ තිබූ විශාල ගල් පර්වතයක් යක්ෂයින් ලවා ඉවත් කරවා ඇත්තේ ද මෙම දැඩිමුණ්ඩ දෙවියන් බව සඳහන් වේ.

නාථ දෙවියන්

මහායාන බුදු දහමේ "අවලෝකිතේශ්වර" බෝධිසත්ත්වයන් ලෙස ද හඳුන්වා දෙනු ලබයි.  ශ්‍රී ලංකාවේ බොදු ජනතාව "නාථ දෙවියන්" යනුවෙන් වන්දනාමාන කරන්නේ ද මෙම දෙවියන් බවට විශ්වාස කරයි. දාහතරවන සියවසේ දී පමණ ලියා ඇති සමහර ලේඛනවල මෙම දෙවියන්ගේ නම "අවලෝකිතේශ්වර නාථ" යනුවෙන් හඳුන්වා ඇත. නමුත් පසුකාලීනව එහි මුල් කොටස ඉවත්ව "ලෝකිතේශ්වර නාථ" යනුවෙන්ද  හඳුන්වා ඇත. කෙසේ වුවත් අද වන විට මෙම දෙවියන් "නාථ" යන නමින් පමණක් හඳුන්වනු ලැබේ. මෙම නාථ දෙවියන් මහායාන බුදු දහමේ සඳහන් වන අයුරින් මතු බුදු වීමට පෙරුම් පුරන බෝධිසත්වයන්  බවට ද විශ්වාස කරයි. 

       "නාථ ශ්‍රී සර්ව මංගල්‍යම්

        යථා දේවේන සංයුතං

                                                       සුගන්ධ දීප ධූතේන

                                                        නාථස්‌වාමි නමෝ වරං"

සතර වරම් දෙවිවරුන්ගෙන් කෙනෙකු වේ. නාථ දෙවියන්ට පුද පූජා පවත්වන දේවල රැසක් මෙන්ම දේව ප්‍රතිමා රැසක් ද දක්නට ඇත. උඩරට රාජධානිය තුළ මෙම නාථ දෙවියන්ගේ සංකල්පය ප්‍රකටව තිබූ බවට සාක්ෂි සඳහන් වේ. මහනුවර යුගයේ දී උඩරට වැසියන්ට වින කළ "කඩවර යක්ෂයා" රුහුණට  පලවා හැරීමට ද මුල් වී ඇත්තේ මෙම නාථ දෙවියන් බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. නාථ දෙවියන් දුම්බර ප්‍රදේශයෙහි බලපරාක්‍රමය විහිදුවා සිට ඇති බවද ජනප්‍රවාදයේ සඳහන් වෙයි. 


අතීතයේ සිටි සිහළ රජවරුන් නාථ දෙවියන් මහත් ගෞරවයෙන් ඇදහූ බව ට සඳහන් වේ. නාථ දේව සංකල්පය සිංහල බෞද්ධ සංස්කෘතියෙහි සුවිශේෂී ස්ථානයක් ගනී. විශේෂයෙන්ම එකල රජ කෙනෙකු රාජ්‍යත්වයට පත්  වන අවස්ථාවේ දී එකී රජ පවුලේ උදවිය එකට එක්ව නාථ දේව වන්දනාව සිදු කළ බව පැවසේ. චාරිත්‍රානුකූලව නාථ දේවාලය තුළ රාජාභිෂේකය සිදු කිරීමෙන් පසුව එම රජු දසවිධ පාපයන්ගෙන් මිදෙන බවට ද දස පුණ්‍ය ක්‍රියාවල යෙදෙන බවට ද නාථ දෙවිදුන් ඉදිරිපිට ප්‍රතඥා දිය යුතුය. එමෙන්ම ඊට නාථ දෙවියන්ගේ දේවාභරණවලට සමාන ඇඳුම් කට්ටලයක් රජතුම ඇඳ සිටියි. මෙලෙස බෝසත් සිරිතට පත්වෙන රජෙකු අතින් සිය රාජ්‍යයට මෙන්ම රජකමටද අයහපතක් නොවන බවට එකල මිනිසුන් තුළ දැඩි විශ්වාසයක් පැවතිණි. තොටගමු රජමහා විහාරයේ බුදු රුව අසලින්ම ඇත්තේ නාථ දෙවියන්ගේ පිළිරුවයි. එනම් එකල නාථ දේව වන්දනාව සිංහල බෞද්ධ ජනී ජනයා අතර බොහෝ සෙයින් පැවත ඇති බවට සාක්ෂි දරයි. මහනුවර පැවැත්වෙන ප්‍රධානතම පෙරහැර වන ශ්‍රී දළදා පෙරෙහැරට පසුව ගමන් කරනුයේද නාථ දේවාල පෙරහැරයි. මහනුවර, බෙල්ලන්විල, උරුලෑවත්ත, වේගිරිය, තොටගමුව, පස්ගම ආදී ස්ථානවල ද නාථ දේවාල පිහිටා ඇත.

Thursday, September 26, 2024

කාලි දේවතාවිය

කාලි දේවතාවිය සිරිලක පුරාම ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ බලසම්පන්න දේවතාවියකි. ඇය මහා කාලී, භද්‍ර කාලී, කාලි මෑණියෝ වැනි නම් රැසකින් හඳුන්වනු ලබයි. කලි යනු අධර්මයෙන් ධර්මය ජය ගන්නා තත්ත්වයක් පෙන්නුම් කරන දේවතාවියකි. ඒ නිසා ඇය නිරූපණය කරන්නේ බිහිසුණු ස්වරූපයකි.  කාලි මෑණියන් තමන්ගේ අනුගාමිකයන්ට ආධාර කරන දෙවි කෙනෙක් ලෙස ද හඳුන්වනු ලබයි.

කාලි දෙවඟන ලෙස හැඳින්වූවද නපුරේදී කාලි දෙවඟන භද්‍රකාලී යක්ෂණිය වන බවට අදහන භක්තිකයන් විශ්වාස කරයි. අණවින - කොඩිවිණ කැපීමේදී තමන්ට නිරපරාදේ වැරදි කළ සතුරන්ට දඬුවම් ලබා දීමේදී භද්‍රකාලී මෑණියන්ගේ පිහිට අත්‍යාවශ්‍ය වන බව මිනිසුන් පවසයි. අද වන විට කාලි දෙවඟන දේවතාවියක් ලෙස මෙන්ම යක්ෂණියක් ලෙස ද මිනිසුන් අතර ප්‍රසිද්ධය. විවිධ පුද පූජා පැවැත්වීම, පූජා වට්ටි පූජා කිරීම, බාරහාර වීම, පොල් ගැසීම, යාදිනි/කන්නලව් පැවැත්වීම ආදී දේ කාලි මෑණියන් වෙනුවෙන් අප ප්‍රදේශයේ ජනතාව සිදු කරනු ලබයි.

කාලි මෑණියන් යනු පත්තිනි දේවතාවියගේ අවතාරයක් බවද සැලකේ. එනම් ඊශ්වර දෙවියන්ගේ භාර්යාව වන උමයංගන පාර්වතී දේවියගේ එක් අවතාරයක් කාලි මෑණියන් ලෙස හඳුන්වන බව ජනවහර තුළ සඳහන් වෙයි. පාර්වතී දේවියට අවතාර 16 ක් තිබෙන අතර ඉන් එක් අවතාරයක් කාලි මෑණියන් ලෙස හඳුන්වයි. 

එමෙන්ම මෙම කාලි මෑණියන්ට අවතාර 8 ක් තිබෙන බැව් ද සඳහන් වේ. ලේ කාලි, ඊරි කාලි, ගිනි කාලි, අග්නි කාලි, සොහොන් කාලි යනු එම අවතාරයන් ය. කාලි දෙවඟන අවේගශීලිත්වයට පත් වන විට සොහොන් කාලි , භද්‍ර කාලී ආවේස වන බවත් මිනිසුන්ට කරන අසාධාරණකම්වලට විශේෂයෙන්ම කාන්තාවන්ට සිදු කරන අකටයුතුකම්වලදී කාලි දෙවඟනගෙ පිහිට පතන විට භද්‍රකාලී, සොහොන් කාලී අවතාර ආවේස වන බවට ජනතාව් අතර විශ්වාසයන් පවතියි.

තවද මෙකී කාලි මෑණියන් මුලින්ම වැඩම කොට ඇත්තේ හලාවත මුන්නේශ්වරම් ප්‍රදේශයටයි. මුන්නේශ්වරම් දේවාලයට අදිගෘහිතව වැඩ වාසය කරමින් මිනිසුන්ට පිහිට වන බව සඳහන් වෙයි. මුන්නේශ්වරම් දෙවොලෙහි අධිපති කාලි මෑණියන් ලෙස ද සඳහන් වේ.

පත්තිනි දේවතාවිය

පත්තිනි යන්නෙහි තේරුම ස්වාමි භක්තිය ඇති බිරිඳ යන්නයි. මෙසේ පත්තිනි දේවතාවිය නමින් ලක්දිවත්, ඉන්දියාවේත් මහත් පුද සත්කාරයන්ට පාත්‍ර වී ඇත්තේ දකුණු ඉන්දියාවේ පූහාර් නම් නගරයේ විසූ කන්නගී නම් කාන්තාවයි. 

ශ්‍රී ලාංකීය ජනතාවගේ අතිශය ගෞරවාදරයට හා භක්තියට පාත්‍ර වී ඇති පත්තිනි දේවතාවිය දේව යාගයන්හි පුද ලබන එකම කාන්තා දේවතාවිය ලෙස හැඳින්විය හැකිය. පත්තිනි පුරාවෘත්තය ඇසුරුව ප්‍රබන්ධ වී ඇති යාග, කවි පන්ති අතර පන්තිස් කෝල්මුරයට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ගම්මඬුව, දෙවොල් මඬු වැනි ශාන්තිකර්මයන්හී දී ඇතැම් කාව්‍ය පන්ති රඟ දැක්වෙන අතර සමහරක් ගායනයෙන් පමණක් ඉදිරිපත් කෙරේ.

මෙකී පත්තිනි දේවතාවිය දොළොස් පත්තිනි ලෙස ද හඳුන්වයි. එනම් පිනි බිංදුවෙන්, දලෙන්, දෙමට මලෙන්, ගලෙන්, සළුවෙන්, නයි කදුලෙන්, අඹෙන්, සුළඟින්, සළඹෙන්, ගිනි දැල්ලෙන්, සිගා රැල්ලෙන් යන ආකාරවලට උපන් හෙයින් බව ජනවහරෙහි සඳහන් වේ. 


"ජලෙනි දලෙනි මලෙනි සලඹ වරෙක උපන්නා

ගලෙනි කුලෙනි සළුවෙනි එක් වරෙක උපන්නා 

අඹෙනි දඹෙනි නයි කඳුලෙනි වරෙක උපන්නා 

එවැනි තෙදැති පතිනි මෙලක දිවිබල පෙන්නා "

එසේම මෙම පත්තිනි දේවතාවියට ඔරුමාල පත්තිනි, ශිව පත්තිනි, සිද්ධ පත්තිනි, ගිනි පත්තිනි, ජල මේඝ පත්තිනි, තෙද පත්තිනි, මා පත්තිනි, වීර පත්තිනි, හඳුන් කුමාරි, සිරිමා පත්තිනි ආදී නාම රාශියකින් හඳුන්වනු ලබයි.

ජනතාව පත්තිනි දේවිය යනු සශ්‍රීකත්වයේ හා නිරෝගීභාවයේ දී සංකේතයක් ලෙස සලකනු ලබයි. දරුඵල ලබා ගැනීම හා සම්බන්ධව පත්තිනි දේවියට බාරහාර වෙයි. පුද පූජා පවත්වනු ලබයි. විශේෂයෙන් පූජා වට්ටි පූජා කිරීම, මල් වට්ටි පූජා කිරීම ආදී පූජාවන් සිදු කරනු ලබයි. තව ද බෝවන රෝග වැළඳුනු විටදී , කුඩා දරුවන්ට, කාන්තාවන්ට දෝෂ ඇති විටෙකදීත් නිවසකට අලුතින් ගෙවදින විටකදීත් නිවසේ සශ්‍රීකත්වයට, කුඹුරේ ඵලදාවට, ව්‍යාපාරික දියුණුවට ආදී අවස්ථාවන්ට දේව ආශිර්වාදය ලබා ගැනීමට බොහෝ බැතිමත්හු පත්තිනි මෑණියන් නාමයට භාර වෙති. එකී වූ භාරය ඔප්පු සිද්ධ කරන්නේ නිවසට කිරි මව්වරු සත් දෙනෙක් කැඳවා කිරි අම්මා දානයක් දීමෙනි. පත්තිනි දේවතාවිය උදෙසා පූජා පවත්වනු ලබන ප්‍රසිද්ධ දේවාලයක් ලෙස නවගමුවේ පත්තිනි දේවාලය දැක්විය හැකිය.

Thursday, August 29, 2024

රන්වල දෙවියෝ


කපක් පළමු කකුසඳ මුනිදුන්  පෙර

උපත මෙසේ පවසන් දැන් කවි කර

විපත පැමිණි දා දෙවිඳු මතක්   කර

උපත කියන් තෙද රන්වල   පිරිවර


අගේ වඩන රන්වල   දෙවියන්නේ

නුගේ විමානේ වාසේ    කරන්නේ

ගඟේ දෑලේ දෙවි වාසේ කරන්නේ

අගේ අසන් රන්වල   දෙවියන්නේ

දෙගම්බඩ දෙවියන්, රන්වල මුත්තා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන රන්වල දෙවියන් උදෙසා පුවක්පිටිය  හිඟුරල ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන දෙවොලට අමතරව පූගොඩ, නිකවෙල සහ කළු අග්ගල යන ප්‍රදේශයන්හි ද දේවාල ඉදිව පවතියි. සීතාවක සිට කැළණිය දක්වාම කැළණි ගඟ දෙපස ගම්වල රන්වල දෙවි අණසක පැතිර පවතින බව ජනතාව විශ්වාස කරයි. මෙම රන්වල දෙවියන් තොටියෙකු ලෙස සිට දේවත්වයට පත් ව ඇති බව ද සඳහන් වෙයි. කොළඹ සිට අවිස්සාවේල්ල දෙසට දිවෙන හයිලෙවල් මාර්ගයේ හමුවන හිඟුරල මංසන්ධියේ පිහිටා ඇති "රන්වල දේවාලය" දිනපතා සිය දහස් ගණනකගේ වන්දනාමානයට පාත්‍ර වන සුවිශේෂී පුදබිමක් ලෙස හඳුන්වා දිය හැකිය. එය රන්වල දෙවියන් උදෙසාම කැපවූ ස්ථානයක්ද වෙයි. 

මෙකී රන්වල දෙවියන්ගේ ජනශ්‍රැතිය දෙවන රාජසිංහ රජ දවස දක්වා දිව යයි. රන්වල කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ග්‍රාමයකි. එකල එම ග්‍රාමයෙහි ජීවත් වූ පුද්ගලයෙකු රාජ උදහසට ලක් වී සීතාවකට පැමිණ තොටියෙක් ලෙස සේවය කරන අතර ක්‍රමයෙන් වියපත් භාවයට පත් වී ඇත. සිල්වත් දිවිපෙවතක් ගත කරමින් තනිකඩ දිවියක් ගත කළ මෙම පුද්ගලයා වයසට යාමත් සමඟ රන්වල මුත්තා ලෙස ප්‍රදේශවාසීන් අතර ප්‍රසිද්ධියට පත් ව ඇත. සෑම පොහෝ දිනකටම පහුරක නැග කැළණි රජමහා විහාරය වන්දනා කිරීම සිරිතක් ලෙස කොට ඇති බවද සඳහන් වේ. එකල කැළණි ගඟ හරහා යෑම ප්‍රධාන ගමන් මාර්ගයක් ලෙස භාවිත කරනු ලැබීය. නමුත් මේ හරහා යාමේදී අනාරක්ෂිත ස්ථාන වල බෝට්ටු, පහුරු පෙරළීම හේතුවෙන් ජීවිත හානි රාශියක් සිදු ව ඇති අතර මේ නිසා රන්වල මුත්තා මේ තැන්වල ස්වේච්ඡාවෙන් පහන් විශේෂයක් දැල්වීමට කටයුතු කර ඇති අතර අනතුරු සහිත ස්ථානවල පහන් දැල්වීම නිසා රාත්‍රියේ සිදු වන අනතුරු බොහෝමයකින් බෙරීමට හැකියාව ලැබී ඇත. 

නමුත් කාලයාගේ ඇවෑමෙන් රන්වල මුත්තා වයස්ගත වීමත් සමඟ මොහුට ආහාර සැපයීම ගම්වැසියන් විසින් භාර ගෙන සෑම දිනකම නොකඩවා ආහාර පාන මෙම රන්වල මුත්තා වෙනුවෙන් ගෙන ගොස් දීම සිදු කර ඇත. එක් දිනක අහ වැස්සත් සමඟ කැළණි ගග පිටාර ගැලීම නිසා රන්වල මුත්තාට ආහාර ගෙන ගොස් දීමට නොහැකි වී ඇත. ගඟ පිටාර ගොස් ඇති නිසා ගමේ පිරිමි පාර්ශවය ආහාර රැගෙන යාමට සුදානම් වුව ද මහ වැස්සෙන් ඔවුන්ගේ ජීවිතවලට හානියක් වෙයි යැයි බිය නිසාවෙන් ඔවුන්ගේ භාර්යාවන් ගමන නවත්වන්න කටයුතු කර ඇත. නමුත් එදින රාත්‍රියේ නිරාහාරවීම නිසාවෙන් රන්වල මුත්තා මිය ගොස් ඇත. මේ බව පසුදින දැනගත් ගැමියෝ අධික ලෙස කම්පාවට පත් වෙයි. නමුත් රන්වල මුත්තා මිය ගියද ගඟ දෙපස සුපුරුදු පරිදි සෑම රැයකම පහන් දැල් ව ඇති බව ජනශ්‍රැතියේ සඳහන් වෙයි. 

රන්වල මුත්තාගේ අභාවයත් සමඟ මෙම ග්‍රාමය පුරා මහා වසංගත රෝගයක් පැතිරී යයි. ඒත් සමඟම ගමෙහි වාසය කරන පුද්ගලයෙක්ට රන්වල මුත්තා ආවේස වී ඇති අතර, දේවාත්මයක් ලබා ඇති බව එහි දී සැල කර සිටියි. වසංගතයෙන් බේරා සිටීමට නම් රන්වල මුත්තා වෙනුවෙන් කළයුතු වත් පිළිවෙත් පිළිබඳව ද ප්‍රාකශ කර ඇති බැව් සදහන් වේ.  මින් පසු රන්වල දෙවියන් වෙනුවෙන් කැළණි ගඟ දෙපස පුහුල් පහන් දැල්වීම කරනු ලබන අතරම, ගොක් කොළ වලින්  නිර්මාණය කරනු ලබන මෙම පහන රන්වල මුත්තා ගඟ දෙපස දැල්වූ ආලෝකය සිහි කිරීමක් ලෙසත් සඳහන් වෙයි. 

එමෙන්ම රන්වල දෙවියන් වෙනුවෙන් සකස් කරනු ලබන දානය නිර්මාංශික වන අතරම කිසිම අයුරකින් ගැහැණු උදවිය ඒ සඳහා සහභාගි කරවා ගැනීමක් ද සිදු නොවෙයි. මන්ද යත් අවසන් මොහොතේ රන්වල මුත්තාට ආහාර නොළැබ මිය යාමට සිදු වූයේ කාන්තාවන් නිසා බවට මතයක් පැවතීම ද මීට හේතුවකි. සීතාවකින් පහල පෙදෙස්වල රන්වල දෙවියන් පිදීම බහුලව සිදු කෙරේ.


Monday, August 19, 2024

සුමන සමන් දෙවියන්

මිනිසුන් අතර වන්දනාමානයට පාත්‍ර වෙන, විශේෂයෙන්ම සබරගමු පළාතේ මිනිසුන් අතර ගරු බුහුමාමානයට ලක්වන දෙවියෙකු ලෙස සමන් දෙවියන් හඳුන්වා දිය හැකිය. 

සුද්ද ලෙසින් නිති ගත බබළන්නේ

සුද්ද ඇතු පිටවද වැඩ ඉන්නේ

බුද්ධ මේ සාසන දියුණු කරන්නේ

සුද්ධ සමන් දෙවියෝය වඩින්නේ

සිරිපා අඩවියේ භාරකාරත්වය දරන දෙවියන් ලෙසත් මෙම සුමන් සමන් දිව්‍ය රාජයන් වහන්සේ හඳුන්වනු ලැබේ. දේශීය සම්භවයක් සහිත ලාංකීය දෙවි කෙනෙකු වන මෙම දෙවියන් මහා සමනල, යක්ක සමනල , සමන් බොක්සාල් යන නම් වලින් ද හදුන්වනු ලබයි. 

සුමන් සමන් දෙවියන් පිළිබඳව මුල්ම තොරතුරු හමුවන්නේ බුදුන් වහන්සේගේ ලංකාගමනයත් සමඟ ය. මේ පිළිබඳව සාහිත්‍ය මූලාශ්‍රවල සේම වංශකතා තුළත් සඳහන් වේ. 

සුමන් සමන් දෙවියන්ගේ ප්‍රභවය පිළිබඳව විවිධාකාරයේ මත තිබේ. ඒ අතරින් බොහෝමයක් ජනප්‍රවාද මත වේ. සබරගමු පළාතෙහි ජනපද දෙවියෙකු ලෙසත් මෙම දෙවියන් ප්‍රසිද්ධියට පත්ව ඇත. බුදුන් වහන්සේ මහියංගනය ප්‍රදේශයට වැඩම කරන අවස්ථාවේ සබරගමු ප්‍රදේශය කිරීමට ද මෙම දෙවියන් ගොස් ඇත. එහිදී බුදුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කොට සෝවාන් ඵලයට පත්ව දේවත්වයට පත් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගෙන් සමන් දෙවියන් පූජාවට යමක් ඉල්ලා සිට ඇති අතර එහිදී බුදුන් වහන්සේගේ කේශ ධාතු ස්වල්පයක් සමන් දෙවියන්ට ලබා දී ඇති අතර එම කේශ ධාතූන් නිධන් කොට මියගුණු සෑය හෙවත් මහියංගන සෑය නිම කොට ඇත. මෙම ස්ථූපය ලංකාවේ ප්‍රථම ස්ථූපය වශයෙනුත් සලකනු ලබයි. 

සබරගමු දෙවොල බාරව සිටි දෙවි කෙනෙකු වන මෙම සමන් දෙවියන් බුදුන් වහන්සේගෙන් ලබාගත් කේශ ධාතූන් සබරගමුවට රැගෙන නොයා මහියංගනයේ සෑයක් කරවා තැන්පත් කිරීම පිළිබඳව ද ජනප්‍රවාදයේ යම් යම් මත තිබේ. සමන් දෙවියන් යනු වැදි පරපුරෙන් පැමිණි දෙවි කෙනෙකි. එම නිසා මෙම සමන් දෙවියන්ට වැදි පරපුරේ ලේ ඥාතීන් සිටින අතර ඒ හේතුවෙන් කේශ ධාතූන් සබරගමුවට රැගෙන නොයා මහියංගනයෙහි සෑයක් කරවා තැන්පත් කර ඇති බවට සඳහන් වේ. 

මෙම සමන් දෙවියන් හා සම්බන්ධව පෙරහැර ද්විත්වයක් වීදී සංචාරය කරනු ලබයි. මහියංගනය හා සබරගමු මහ සමන් දේවාලවල සිදු කරන මේ පෙරහැර ද්විත්වයම ඇරඹෙනුයේ මහනුවර ඇසළ පෙරහැර සමය අවසන් විමෙන් පසුවය. සබරගමුව සමන් දේවාලයේ පෙරහැර කොටස් 5න් යුක්ත වන අතර දළදා පෙරහැර, බිසෝ පෙරහැර, පත්තිනි පෙරහැර, සමන් පෙරහැර, නරදේව පෙරහැර යනු එම කොටස් 5 යි. මෙහි බිසෝ පෙරහැර යනු සමන් දෙවියන්ගේ සහෝදරියක වන මහියංගන වැසියන් අතර විශ්වාස කෙරෙන මහලොකු අක්කා වෙනුවෙන් පවත්වන්නක් බව විශ්වාස කරයි. මෙමගින් ද සමන් දෙවියන් වැදි පරපුරෙන් පැමිණි අයෙකු බවට සනාථ වේ. 

වැදි පරපුරෙන් පැමිණිය ද ප්‍රාග් බෞද්ධ යුගයේ සිටම වැදුම්, පිදුම් ලැබූ දෙවි කෙනෙකු ලෙස සමන් දෙවියන් හඳුන්වා දිය හැකිය. ජනප්‍රවාදයේ මෙම සමන් දෙවියන් සමන්ත්‍රභද්‍ර නම් බෝධිසත්ත්වයෙකු ලෙසටත් හඳුන්වා ඇත. සෙනරත් පරණවිතාන මහතා ද මෙම සමන් දෙවියන් පිළිබඳව ප්‍රකාශ කොට ඇත්තේ සමන් දෙවියන් පුරාණ වෛදික දෙවි කෙනෙකු බවටයි.  සමන් දෙවියන් හා සම්බන්ධ ප්‍රධාන පූජනීය ස්ථාන ලෙස ශ්‍රී පාදස්ථානය, සබරගමු මහ සමන් දේවලය ප්‍රධාන වශයෙන් හඳුන්වා දිය හැකිය. සාම්ප්‍රදායික සබරගමු ශාන්තිකර්ම වලදීද පුද ලබන දෙවි කෙනෙකු ලෙස මෙම සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ හඳුන්වා දිය හැකිය.

Saturday, December 2, 2023

රජ්ජුරු බණ්ඩාර දෙවියන්

දකුණු පළාතේ මිනිසුන් විසින් අදහනු ලබන්නාවු බණ්ඩාර දේව කන්නලව්වෙහි සඳහන් වන බණ්ඩාර හත් කට්ටුවෙහි එක් දෙවියෙකු ලෙස රජ්ජුරු බණ්ඩාර දෙවියන් හඳුන්වනු ලබයි.  බටහිර දෙවියෝ, පාතා  හාමුදුරුවෝ, ගැටබරු  දෙවියෝ ලෙස මෙම දෙවියන් හඳුන්වනු ලබයි. රජ්ජුරු බණ්ඩාර දෙවියන් නිලමේ කෙනෙකු මෙන් සැරසී සිටින අතර හිසෙහි ඔටුන්නක් ද දරා ඇත. උඩු රැවුලක් ද, ගෙලෙහි තැල්ලක් ද, ඉණ දක්වා වූ මල් මාලයක් ද, වම් උරහිස හරහා උතුරු සළුවක් ද, දෙයත් ආභරණවලින් ද, දකුණු අතේ සෝලු ලීයකින් ද, වමත රබාන කින් ද සැරසී ඇත. රජ්ජුරු බණ්ඩාර දෙවියන් බැතිමතුන්ට සාධාරණය ඉටු කොට වැරදිකරුවන්ට  දඬුවම් කරන බව ගම්වාසීන් විශ්වාස කරන්නකි. ඒ පිළිබඳව ජනප්‍රවාද කතා ද  රාශියක් පවතින අතර උකුස්සෙකු ගේ පියාපත් අළු කිරීම, ගොන් බානක් ගල් කිරීම (ගොන්ගල) ඉන් සමහරක් වේ. ඇසළ උත්සවය ගැටබරුවට  ආවේණික වූ චාරිත්‍රයකි. දෙවියන් අදහන බැතිමතුන් පඬුරු ඔප්පු කිරීම, ධන ධාන්‍ය පිදීම මෙහිදී සිදුකරනු ලබන්නකි. මෙකී රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ මාලිගාව ඇත්තේ අකුරැස්ස උරුමුත්ත ප්‍රදේශයේ මාලිගාකන්ද නම් ස්ථානයේය. නමුත් රජ්ජුරු බණ්ඩාර දෙවියන් වැඩ වාසය කරනු ලබන්නේ ගැටබරු රජමහා විහාරයේ සහ එළමල්දෙණිය විහාරයේ බව ප්‍රදේශවාසීහු විශ්වාස කරති.

ගැටබරු දෙවියන් පිළිබඳ ගැමි විශ්වාසයක් මෙසේ දැක්විය හැකිය. කතරගම දෙවිඳුන් තාරක අසුරයා විනාශ කිරීමෙන් පසුව මිනිසුන්ගේ වැරදි උදෙසා දඬුවම් දීම නවතා දමා ඇති බැවින් එම කටයුතු සිදු කිරීමට ගැටබරු දෙවියන් හෙවත් රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට භාර දුන් බවත් සඳහන් වේ. එතැන් සිට බණ්ඩාර දෙවියන් මිනිසුන්ගේ වැරදි උදෙසා දඬුවම් දෙමින් ප්‍රදේශයේ ජන ජීවිතය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යෑමට උපකාර කරන බව ගැමියන් විශ්වාස කරයි. දකුණේ වැසියන් තුළ රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට පවතින්නේ ගෞරවාන්විත භක්තියක් මෙන්ම ගෞරව සම්ප්‍රයුක්ත බියකි. එමෙන්ම මෙම රජ්ජුරු බණ්ඩාර දෙවියන් වැඩ වාසය කරන පුද බිම කාලාන්තරයක් තිස්සේ වල් බිහි වී තිබී නැවත හමු වීම වීමම හාස්කමක් ලෙස බොහෝ ගැමි ජනතාවගේ විශ්වාසයයි.

තවද ගැටවර දෙවියන් වලගම්බා රජු රාජ්‍ය කරන කාලයෙහි රාජ්‍ය භාණ්ඩාගාරයේ භාණ්ඩාරවරයා ලෙස සිට ඇති බවටත් ගැමියෝ විශ්වාස කරන්නකි. එමෙන්ම ගැටබරු දේවාලය ට නම ලැබී ඇත්තේ එකල මෙහි සිටි බණ්ඩාර නම් ප්‍රතාපවත් පාලකයෙකු මරණින් පසු ගැටබරු දෙවියන් ව එම ස්ථානයට අධිගෘහිතව වැඩ වාසය කරන නිසාවෙන් බැව් ගැමියෝ පවසති. වැරදිකරුවන්ට දඬුවම් දෙන අතර නිවැරදි කරුවන් ආරක්ෂා කරන බවටද ගැමියන් අතර දැඩි විශ්වාසයක් පවතී. හොරකමක්, මංකොල්ලයක්, අපහාසයක් වගේ අකටයුත්තකදී පිහිට වනුයේ රජ්ජුරුබණ්ඩාර දෙවියන් ය. තවද ඉගෙනීමේ කටයුතු වල දී ඒවා සාර්ථක කර දෙනු වත් ගැටබරු දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරයි. පූජා වට්ටි, පුද පඬුපඬුරු, මල්මාලා ආදිය පූජාකරමින් ගැටබරු දෙවියන්ට ගැමියෝ පූජෝපහාර දක්වති. එමෙන්ම අලුත් වාහන ආදිය ගත් විට පළමුවෙන්ම ගැටබරු දේවාලයට ගොස් බාරහාර වීම සිදු කරයි. එය එදා සිට අද වන තුරුම ගැමියන් විසින් කරනු ලබන්නකි. ගැටබරු රජමහා විහාරය "රුහුණේ පුංචි කතරගම" යන නමින් ද විරුදාවලිය ලබා ඇත.

Monday, August 21, 2023

ගණ දෙවියන්

දේව මණ්ඩලයේ සිටින්නා වූ දෙවිවරු අතරින් බලසම්පන්න ම දෙවියන් ලෙස හදුන්වනු ලබන ගණ දෙවියන් ගනේෂ්, විනයාගර්, ඒකදන්තන්, ලම්බෝදර්, පුල්ලෙයාර්, ගණ දීපන් යන නම් වලින් ද හදුන්වනු ලබයි. ගණ දෙවිදුන් බල සම්පන්න  භාවයෙන් ඉහළ වුවත් නැටුමට, ගැයුමට, විනෝදයට බර, පරාර්ථකාමීත්වයෙන් යුතු කුඩා දරුවෙකුගේ මෙන් මෘදු මොළොක් ගති පැවතුම් ඇති දෙවියකු බව සැලකේ. ගණ දෙවිදුන්ගේ උප්පත්තිය පිළිබඳ ගැමියන් තුළ විවිධ විශ්වාසයන් පවතී. ඉන් එක් විශ්වාසයකට අනුව ගණ දෙවිදුන්ගේ මව්පිය දෙපළ වනුයේ ශිව දෙවිදුන් සහ පාර්වතී දෙවගනයි. පාර්වතී දේවිය විසින් සිතින් මවාගත් දරුවකුගේ අනුරුව හදුන් පිටිවලින් සකස් කළ බවත් ඇගේ ඉල්ලීමෙන් සැබෑ පණ ඇති දරුවෙක් බවට ඉන්පසු පත් වුණු බවත් ගැමියෝ විශ්වාස කරති. ගණ දෙවියන්ට ඇත් හිසක් ලැබීම පිළිබඳව ද මිනිසුන් තුළ විවිධ විශ්වාසයන් පවතී. ඉන් එක් විශ්වාසයක් පවතී. ඉන් එක් විශ්වාසයක් මෙසේය. ශිව දෙවියන්ගේ බිසව වූ උමයංගනා දේවිය ස්නානය කරන විට එම ස්ථානයට කිසිවෙකුත් පැමිණීම වැලැක්වීමට පිරිමි ළමයෙකු මවන ලද අතර ඔහු ශිව දෙවියන්ට ද උමයංගනා දේවිය ස්නානය කරන ස්ථානයට යෑමට ඉඩ ලබා දී නැත. ඊට කෝපයට් පත් වූ ශිව දෙවියන් මෙම පිරිමි දරුවාගේ හිස වෙන් වන ලෙස පහර දෙන ලදි. මෙය දුටු උමයංගනා දේවිය දරුවාගේ පණ නැවත ලබා දෙන ලෙස හැඩීම නිසා අසල නිදා සිටි ඇත් පැටවකුගේ හිසක් රැගෙනවිත් දරුවාට සවි කොට නැවත පණ ලබ දී ඇත. එතැන් පටන් එම් දරුවා ඔවුන් දෙපළගේ වැඩිමහල් පුතා ලෙසද සලකා ඇති බව ගැමියෝ විශ්වාස කරති. අනෙකුත් දෙවියන් වැදීමට පෙර ගණ දෙවියන්ට වදින ලෙස නියෝග කොට ඇති බව ද පැවසේ.

තවද  මෙම ගණ දෙවියන්ට ඇත් හිසක් ලැබීම  පිළිබඳ ගැමියන් අතර පවතින්නා වූ තවත් විශ්වාසයක් මෙසේ ය. හින්දු දෙවි කෙනෙකුන්  වූ කතරගම දෙවිදුන් වල්ලි අම්මා නම් කාන්තාවක් කෙරේ පැහැදී සිට ඇති අතර ඇය සරණ පාවා ගැනීමට යෝජනා කළ ද වල්ලිඅම්මා ඊට අකමැත්ත ප්‍රකාශ කොට ඇත. එවිට කතරගම දෙවියන්ගේ බාල සොහොයුරන් වූ ගණ දෙවියන් ඊට සහාය දී ඇති අතර වල්ලි අම්මා මැණික් ගගේ ස්නානය කරන විට ගණ දෙවියන් ඇත් වේශයක් මවා ගෙන ඇය ඉදිරිපිටට යාමෙන් වල්ලි අම්මා බිය වූ විට කතරගම දෙවිදුන් ඇය බේරා ගැනීමට ගොස් ඇත. නමුත් ගණ දෙවිදුන්ගේ ඇත් වේශය නැති කිරීමට නම් කතරගම දෙවිදුන් අත තිබූ පැන් ඉසිය යුතු විය. නමුත් කතරගම දෙවිදුන් වල්ලි අම්මා බේරා ගන්නා අවස්ථාවේ පැන් කෙණ්ඩිය බිම වැටී ඇති බව ද ඉතිරි වූ පැන් ඉසූ පසු හිස හැර ශරීරයේ ඉතිරි කොටස් පෙර පරිදි ම සැකසුණු බව ද පැවසේ. මේ නිසාවෙන් ගණ දෙවියන්ට ඇත් හිසක් සහිත වූ බව මිනිසුන් විශ්වාස කරන්නකි. 

ගණ දෙවියන් ඇදහීම හින්දු භක්තිකයන් වැඩි වශයෙන් සිදු කරන අතර බෞද්ධයන් ද ගණ දෙවි වන්දනාව සිදු කරනු දැකිය හැකිය. බොහෝ විට ඉගෙනීමේ කටයුතුවල නිරතවන්නන් ගණ දෙවියන්ට පුද පූජෝපහාර සිදු කිරීම වැඩි වශයෙන් සිදු කරයි. එහි දී ගණ දෙවියන්ට පලතුරු වට්ටි පූජාකොට බාරහාර වීම, මල්මාල, පුද පඩුරු ආදිය ද පූජා කර සිය අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට නුවණ ලබා දෙන ලෙස පවසයි. එමෙන්ම කඩඉම් විභාගවලදී ගණ දෙවියන්ට පහනක් තැබීම ද සිදු කරනු දැකිය හැකිය.

Thursday, June 1, 2023

උපුල්වන් දෙවියන්

 

ලංකාරක්ෂක දේවතාවක් ලෙසින් සලකනු ලබන ශ්‍රී උත්පලවන්නා දිව්‍ය රාජයා වූ කලී නිල් පැහැති උපුල් මලක හැඩය ගත් දේවතාවෙකි. අතීතයේ සිට ම අද දක්වාම උපුල්වන් දෙවියන් බැතිමතුන්ගේ ගෞරවාදරයට පත් වූවෙකි. ශ්‍රී ලංකාවෙහි දකුණු කෙළවරේ පිහිටි මනරම් පෙදෙසක් දෙව්නුවර මෙම දෙවියන් වැඩ සිටින්නා වූ උපුල්වන් දේවාලය පිහිටා ඇත. මෙකී දෙවුනුවර පුදබිමෙහි වැඩ හිදින්නා වූ දෙවියන් පිළිබද විවිධ විශ්වාසයන් පවතී. බොහෝ දෙනා පවසන පරිදි මෙම දෙවියන් උපුල්වන් දෙවියන් ය. තවත් කොටසකට ශ්‍රී විශ්ණු දෙවියන් ය. තවත් කොටසක් විශ්වාස කරන්නේ ඉහත කී දෙවියන් දෙදෙනාම එක් අයෙකු බවයි. කෙසේ නමුත් බොහෝ දෙනා උපුල්වන් දෙවියන් ඉමහත් බැතියෙන් අදහනු ලැබේ. ශ්‍රී විෂ්ණු උප්පලවන්නා දෙවියන් උදෙසා ඇසළ් පෙරහැර ද වාර්ෂිකව සිදු කරනු ලබති. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට මෙන්ම මතු බුද්ධත්වය පතන බෝධිසත්ව දෙවියෙකු ලෙස ද ගම්වැසියෝ විශ්වාස කරති. කිහිරැලි , මාගධි , උපේන්ද්‍ර, කේෂව , ජගන්නාථ, මධුසූධන යන නම් වලින් ද ඇතමෙකු ශ්‍රී විශ්ණු දෙවියන් යන නමින් ද උපුල්වන් දෙවියන් හදුන්වනු ලැබේ. මෙම දෙවිදුන් නිල් පැහැතිය . අත් සතරෙහි යගදාවක් , සුදර්ශන් චක්‍රය , නෙළුම් මලක් සහ සංඛයක් දරා සිටියි. 

උපුල්වන් දෙවියන් දෙවුන්දරට පැමිණීම පිළිබද ව ප්‍රදේශවාසීන් විශ්වාස කරනුයේ මෙබදු කථා පුවතකි. මෙම උප්ප්ලවන්ණා දෙවියන් කිහිරි කදකි වේශයක් ගෙන වත්මනයේ දෙවුන්දර පුදබිම ආසන්නයේ ඇති වෙරළට පැමිණ ඇත. එකල රජ කළ දාපුළුසෙන් නම් රජු එම කිහිරි කදින් දේව රූපයක් කරවීමට සුදුස්සෙකු සොයන අතරතුර වයෝවෘද්ධ පුද්ගලයෙකු ඊට පැමිණ ඇත. පසු දින රජු දේව ප්‍රතිමාව බැලීමට පැමිණිය ද වයෝවෘද්ධ පුද්ගලයා දැකිය නොහැකි වී ඇති අතර ජීවමාන ආකාරයෙන් වැඩ හිදනා දේව රූපයක් පමණක් තිබූ බව ජනප්‍රවාදයේ සදහන් වේ. එම දේව ප්‍රතිමාව තැන්පත් කොට දප්පුල රජතුමා හෙවත් දාපුළුසෙන් රජතුමා මෙම උප්පලවන්නා දේවාලය සාදවා ඇත.


තවද මෙම උපුල්වන් දෙවියන් උදෙසා කරනු ලබන ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය ඇරඹීම සම්බන්ධව ද ගම්වාසීන් තුළ විශ්වාසයන් පවතී. එකල සිටි චන්ද්‍රභානු නැමැති ජාවක රජුගෙන් සිංහල ජනයා බේරා ගනු වස් සිදු කරන ලද භාරයක් ඔප්පු කිරීමක් ලෙස මෙය ඇරඹූ බව ඔවුන් තුළ පවත්නා විශ්වාසයකි. 

තව ද මෙම උපුල්වන් දෙවියන් පිළිබද පවතින්නා වූ විශ්වාසයක් මෙසේ දැක්විය හැකිය. බුදු රජාණන් වහන්සේ සැවත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කළ යුගයෙහි රුහුණු පුරයේ රජකම් කොට ඇත්තේ උප්ප්ලවන්නා නම්  රජ කෙනෙකි. පසු කලෙක උපුල්වන් දෙවියන් ලෙස දෙව්නුවර දේවාලයක් කරවා පුද පූජෝපහාර කරනුයේ මෙම රජතුමාට බව ඇතැම් ගැමියෝ විශ්වාස කරති. වර්තමානයේ විශ්ණු දෙවියන් යැයි සලකා වැදුම් පිදුම් කරන්නේ ද මෙම උපුල්වන් දෙවියන්ට ම බව සදහන් වේ. 

උපුල්වන් දෙවියන් වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් කල් ඇතිව ම පේවීම සිදු කරයි. එමෙන්ම ගෙමිදුලේ පහන් පැලක් බැද පහන් දල්වා බාරහාර කරයි. පුද පඩුරු පූජා කර තමන් ආරක්ෂා කර පිහිට වීමට උපුල්වන් දෙවියන්ට හැකියාව පවතින බැව් ගැමියෝ විශ්වාස කරති. යහපත් දිවි පෙවතක් ගත කරමින් දෙවියන්ට පූජා පැවැත්වීමෙන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබී සතුට සෞභාග්‍යය ළගා කර ගැනීමටත්, එදිනෙදා ජීවිතයේ දුක් කම්කටොළු , රෝග උවදුරු ආදියෙන් මිදීමටත් , සෙත් ශාන්තිය ලබා ගැනීමටත් බලාපොරොත්තු වෙති.  දෙවිදු වැඩ වසන දේවාලය පසු කොට යන විට පඩුරු පූජා කොට ආරක්ෂාව පැතීමට ද ඔවුන් පුරුදු වී සිටිති. සිය දුකට පිහිට වන බව ඔවුන් දැඩි සේ විශ්වාස කරන්නකි. උපුල්වන් දෙවියෝ මතු බුදු වන බෝසත් දෙවි කෙනෙකු බව ද ජනප්‍රවාදයේ සදහන් වේ. ලක්දිව බුදු සසුන නොනැසී පවතින්නේ ද මෙම උපුල්වන් දේවේන්ද්‍රයා නිසා බැවු ගැමියෝ විශ්වාස කරති.

ගම්භාර දෙවියන්

                                                  

ප්‍රාදේශීය දේවතාවෙක් ලෙස ගම්භාර දෙවියන් හදුන්වා දිය හැකිය. මෙම දෙවියන් ගම් ආරක්ෂා කරතැයි ප්‍රදේශවාසීන් විශ්වාස කරන්නකි. ඇතැම් අවස්ථාවලදී දෙවොල් දෙවියන් නමින් ද හදුන්වනු ලබන්නේ මෙම ගම්භාර දෙවියන් ය. ඇතැම් ප්‍රදේශවල ගම්භාර දෙවියන් කීප දෙනෙකුම දැකිය හැකි වේ. මෙම දේවතාව හැදින්වෙන්නේ ගම්භාර ඔඩ්ඩි වඩිග සුනියම් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ නමිනි. අර්ධ තත්ත්වයේ සිටින දෙවි කෙනෙකු ලෙස ද ගම්භාර දෙවියන් සැලකේ. එනම් පෙර කළ මනුශ්‍ය ආත්මයක හෝ යක්ශ ආත්මයක සිට බලසම්පන්න දෙවිවරුන්ගෙන් වරම් ගෙන දේවත්වයට පත් වී ඇති යන්නයි. එම නිසාවෙන් බොහෝ අය  සූනියම් දෙවියන් විටෙක දේවත්වයෙන් ද තවත් විටෙක යක්ශ ආත්මයකින්ද පෙනී සිටින බලවත් දෙවියකු බව විශ්වාස කරයි. ගම්භාර දෙවියන් හැදින්වීමට ගම්පති, මුදල් භාර, පට්ටි භාර, ඔඩ්ඩි කුමාර, ඔඩ්ඩි දේවතා, ඔඩ්ඩි මස්සිනා, සුද්ධ සූනියම් අප්පච්චි , ගම්භාර අප්පච්චි , සූනියම් දේවතාව යන විවිධ නම් වලින් හදුන්වනු ලබයි. හැඩපලු 13 න් ද ගෙල වටා නාග මාලයක් ද එක් උරහිසක කරවලුන් හතර දෙනෙකු ද බැගින් දෙව්‍ රේ අටක් ද මුඛයෙන් ලේ පොළගෙක් ද බද වටා නාගයින් පැළද සිටිනු දක්නට පුළුවන.  නීල වර්ණ ශරීරයකින්ද සමන්විත දිවි සළු පැළද සිටින මෙකී මෙකී දෙවියන් පාමුල ද නාගයෙක් දැකගත හැකිය. තවද දකුණතින් වඩිහ කඩුවක් ද වමත ගිනි කබලක්ද තිබෙනු දක්නට ඇති අතරම වාහනය සුදු තුරගෙකි. 

ගම්වාසීන් විශ්වාස කරන පරිදි සූනියම් දේවතාවගේ උත්පත්ති කතාව මෙසේ ය. ඉන්දියාවේ වඩිග දේශයේ වඩිග රජුටත් යවුදගිරි දේවියටත් දාව උපන් කුමරා ඔඩ්ඩි වඩිග කුමරා හෙවත් සූනියම් දේවතාවයි. මෙම කුමරා ඉපදුණ විට ශිල්ප ශාස්ත්‍රයෙහි කෙළ පැමිණි බමුණන් විසින් මෙම කුමරුන්ගේ ශරීර සලකුණු බලා "කුමරුන් මහා බලගතු බවත්, සොළොස් විය පිරුණු කල්හි වඩිග රජු ද පරිවාර රජුන් ද මරා වඩිග දේශයම අත්පත් කර ගන්නා බවත් පසුව ලංකාදීපයට ගොස් අමු මිනී මස් කා වාසය කරන බවත් " පවසා ඇත. මේ නිසාවෙන් වඩිග රජුට තම පුත්‍රයා  මැරීමට ද සිතුනු නමුත් තමාට දාව උපන් දරුවා මැරීම සිදු කළ නොහැකි බැවින් ඇති දැඩි කළේය. නමුත් සොළොස් විය වූ විට මෙම කුමරුන් නයි, පොළොගුන් , මාපිල්ලු, වැනි සර්පයින්ගේ දළ කඩා විෂ උරා බීම්ටත් එම සර්පයින් බෙල්ලෙ ඔතා ගැනීමටත් පුරුදු විය. ඉන්පසු මෙම කුමරුන් යක්ශාවතාරයක් වී ඇති බවට ගැමියෝ විශ්වාස කරති. බමුණන් කී පරිදිම මේ කුමරු රජු ඇතුළු පරිවාර රජුන් ද මරා දමමින් රට වැසියන් මරා මිනී මස් කෑමට පටන් ගත්හ. පසුව මෙම කුමරුන්ට සූනියම් යක්ශයා ලෙස   නම් පටබැදීම සිදු වූයේ මින් පසුවය. මෙම සූනියම් දෙවියන්ට විශාල සේනාවක් ද සිටින බව ජනප්‍රවාදවල සදහන් වේ. පසුව සූනියම් යක්ෂයාගෙන් ඇති කරදර නතර කිරීමට යක්ෂයා බන්ධනය කිරීමට මන්තර ජප කරමින් විවිධ උත්සාහ දරයි. එවිට මන්තර ජප කරමින් සිටි පුස්කොළ පොත තුලට සුනියම් යක්ෂයා ඇතුල් වූ පසු ඇදුරුතුමා විසින් යක්ෂයා පුස්කොළ පොත තුළ සිර කොට රන් හුයකින් ගැට ගසා මුහුදෙව් පා කර හැරියේය. එම පුස්කොළ පොත ලංකාවේ දකුණු වෙරළට පාවී පැමිණ ඇති අතර මාතර ප්‍රදේශයේ පුද්ගලයෙක් මෙය තම නිවස කරා රැගෙන ගොස් ඇත. නමුත් ඔහුට දෙවිවරු සිහිනයෙන් මෙය විවෘත නොකරන ලෙස පුන පුනා පවසන ලදි. නමුත් එම පුස්කොළ පොත පසුව කුලියාපිටිය ප්‍රදේශයේ අයෙකු සතු වී තිබෙන අතරතුර එහි වටිනා මන්ත්‍ර ඇති බව සිතා එය විවෘත කිරීමේදී සූනියම් යක්ෂයා පිටතට පැමිණ ඇත. සූනියම් යක්ෂයාගේ ලංකාගමනය සිදු වී ඇත්තේ එසේ ය. පසු කාලීනව මෙම යක්ෂයාට පත්තිනි දේවිය විසින් වරමක් ලබා දී දේවත්වයට පත් කොට ඇති බව ගැමියන් විශ්වාස කරති. 

ලංකාවේ කැබලෑව ප්‍රදේශයෙහි මෙම සූනියම් දේවතාවගේ ප්‍රධාන දේවාලය පිහිටා ඇති නමුත් ගම්භාර දේවතාවෙක් බැවින් සෑම ගමක ම පාහේ මෙම දෙවියෝ වෙනුවෙන් දේවාල ඉදි කොට ඇත. තවද මෙම දෙවියන් දවසින් වරුවක් යක්ෂාවතාරයෙනුත් අනෙක් වරුව දේව විලාශයෙනුත් සිටින බව ප්‍රදේශවාසීන් විශ්වාස කරති. එමෙන්ම අව පක්ෂයේදී යක්ෂාවතාරය ලෙසත් පුර පක්ෂයේදී සූනියම් දේවතාව හෙවත් ගම්භර දෙවියන් ලෙසත් පෙනී සිටින බව ගැමියෝ විශ්වාස කරන්නකි. බෝධිසත්ව ගුණ ඇති දේවතාවෙකු ලෙස විශ්වාස කරන මෙම දෙවියන් මිනිසුන්ගේ දුකට පිහිට වන කෙනෙකු ලෙස ප්‍රචලිත වේ. දුක්, පීඩා, අණවින කොඩිවින, සොර සතුරු කරදර, ව්‍යාපාර දියුණුව සහ දරුඵල පතාගෙන මෙම දෙවියන් ඇදහීමට ප්‍රදේශවාසීන් පුරුදු වී සිටියි. එමෙන්ම මෙම දෙවියන්ට පහන් පුද පඩුරු සත්කාර කිරීමෙන් භූමි දෝෂ, යක්ෂ ප්‍රේත දෝෂ පලා යන බවත්, සාමය සතුට ඇති කරන බවත්, සමාජයේ ගෞරවාදරයට පත්වන බවත්, මෙතුමා අදහන කිසිවෙකුත් හිරේ විලංගුවේ නොවැටෙන බවත් ගැමියෝ විශ්වාස කරන්නකි. තව ද කිළි ආදියෙන් පේවී පිරිසිදු සිතින් පහන් පැලක ගම්භාර දෙවියන්ට පුද පූජා කිරීමෙන් බලා සිටියදීම දියුණුවට පත් වන බව ද අදහන බැතිමතුන් විශ්වාස කරති. දෙවියන්ට පහන් දල්වනවා නම් එය නොකඩවා කළ යුත්තකි. දෙවියන් එය බලාපොරොත්තුව සිටින බව ගම්වැසියෝ විශ්වාස කරති. එසේ නොකළ විට දෙවියන් කෝප වන බව ද පවසයි. එමෙන්ම කාන්තාවන් ළමයින් පහන් පැළට ලංවීම නොකළ යුත්තක් ලෙස ඔවුන් සලකති. මිදුලෙහි පහන් පැළක් අටවා දිනපතා පහන් දල්වා තමා අවශ්‍යතා සපුරා දෙන ලෙස යැදීමට ගැමියෝ පුරුදු වී සිටිති.

Tuesday, May 30, 2023

කතරගම දෙවියන්

රුහුණු පුරයෙහි ආරක්ෂකයා වශයෙන් සැලකෙන කතරගම දෙවිදුන් අප අදහන දෙවිවරු අතර සිටින්න්නා වූ තේජසයෙන් සහ බල පරාක්‍රමයෙන් යුක්ත දෙවි කෙනෙකු ලෙස හදුන්වන්නට පුලුවන. කදිර සුරිදු, ස්කන්ධ කුමාර, මුරුගන්  ආදී වූ නම් වලින් මෙම දෙවිදුන් හදුන්වනු ලබයි. කද සුරිදු හෙවත් ස්කන්ධ කුමාර දෙවියන්ට මුහුණු සයකින්ද  , අත් දොළොසකින්ද , නෙත් දොළොසකින්ද , රන්වන් පැහැති සිරුරකින්ද සමන්විත වන බව දැකිය හැක්කකි. ජනප්‍රවාදයට අනුව මෙසේ වී ඇත්තේ ඊශ්වර දෙවියන් අභියස විශ්ණු විසින් මායාවකින් මවන ලද කුමරුන් සය දෙනා දුටු උමාව විසින් කුමාර කන්දක් නොවෙව් දැයි පවසා සය දෙනා එකට අල්ලා ගැනීම නිසා ඔවුන් ඒකාබද්ධ වී මුහුණු සයක්, අත් දොළොසක් හා එක් කයකින්ද සහිත වූ බව කියනු ලැබේ. මයුරාසනය පිට සිටින්නා වූ කතරගම දෙවිවුන්ගේ අත් දොළොසෙහි කෙටේරියක්  , දුන්නක්, හීයක්, පළික්, පොතක්, කඩුවක්, අඩ කුසයක්, මුගුරක්, සැවුල් ධජයක්, සංඛයක්, තෝමරයක් දරාගෙන සිටිනු දක්නට පුලුවන. එමෙන්ම දකුණු උරහිසෙහි මොකරෙකුද , පාමුල නාගයෙකුද ,දෙපසින් තේවානි අම්මා සහ වල්ලි අම්මා ද සමගින් සිටින්නා වූ කතගම දෙවිදුන් කතරගමට , සෙල්ලන් දූවට, මඩං දූවට, මැනික් ගංගාවට , කිරි වෙහෙරට, වැඩිහිටි කන්දට, සයුර මධ්‍යයේ  පිහිටි ත්‍රිත්ව කෝවිලට , මුන්නේශ්වරම් දේවාලයට, රුහුණු පස් පත්තුවට, වලවේ ගංගාවට , සෙල්ල කතරගමට ආදී වූ ස්ථාන රශියකට බලපරාක්‍රමය පතුරුවා ගෙන් සිටින බව ගම්වාසීන් මෙන්ම ජනශ්‍රැතියේද සදහන් වේ. යාල ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටි කතරගම නගරය කද සුරිදුන්ගේ වාසභවනයි. කතරගම නගරයෙහි මැණික් ගග අසබඩ පිහිටා ඇති මෙම පූජා භූමියට ප්‍රවෙව්ශ වීම සදහා සතර දිශාවෙන් සුවිසල් දොරටු සතරක් වෙයි. මෙම පුදබිම මහා දේවාලය, කිරි වෙහෙර , ගණ දේවාලය, අෂ්ට ඵලරුහ බෝධිය , දේවාල මුළුතැන්ගෙය සහ තවත් දේවාල් කීපයකින් සමන්විත වන්නකි. මතු බුදු වන මෙම කතරගම දෙවියන් බුදුන් වහන්සේගේ තුන්වන ලංකා ගමනේදී කතරගම රාජධානිය භාරව සිටි මහඝෝශ රජතුමා බව ද අතීත කතාවල සදහන් වේ. බොදු ජනතාවගේ ජනවහරට අනුව එකල බුදුන් වහන්සේගේ බණ අසා රජු සෝවාන් වූ බවත් මහාඝෝශ හෙවත් මහසෙන් රජු මරණින් පසු දෙවියෙක්ව කතරගම ප්‍රදේශයට අරක්ගෙන සිටින බවත් විශ්වාස කෙරේ. තවද කතරගම දෙවිදුන් හෙවත් ස්කන්ධ කුමාරගේ උත්පත්තිය පිළිබද ව හින්දු ජනශ්‍රැතිය තුළ සදහන් වන්නේ මෙසේය . අතීතයේ සිටි තාරක නම් අසුරයෙකුගෙන් දෙවියන්ට කරදර සිදුවන්නට විය. නමුත් එම තාරක අසුරයා පරාජය කිරීමට හැකියාව ඇත්තේ ශිවට දාව උපන් අයෙකුට පමණක් බැවින් පාර්වතිය ශිවට පාවා දීමට උත්සාහ කළද එය අසාර්ථක විය. නමුත් අවසානයේ තවුස් දම් පිරූ පාර්වතිය පිළිබද පැහැදි ශිව ඇයව සරණ පාවා ගත්තේ ය. ඔවුන්ගේ එක් වීමේ සිහිවටනය වූයේ ස්කන්ධ කුමාරයාය. රණබිමේ දස්කම් පෑ ස්කන්ධ කුමරු තාරක අසුරයා පරාජය කළ බව ද ජනප්‍රවාදයේ සදහන් වන්නකි. 


ඓතිහාසික ජන වෘතාන්තයට අනුව කතරගම දෙවියන් පිළිබද ඇති තවත් විශ්වාසයක් මෙසේ ය. එනම් එකල ලංකාවේ රාජ්‍ය පාලනය කරමින් සිටි දුටුගැමුණු කුමරුන්ට යුද්ධය ජය ගැනිමටද කතරගම දෙවිදුන් පිහිට වූ බව සදහන් වේ. දිනක් දුටුගැමුණු රජු පෙහෙවස් සමාදන් වී සිටින අතරතුර නින්දට වැටුණු විට එතුමා සිහිනයක් දුටුවේය. මොණරෙකු පිට නැගි අයෙකු පැමිණ ඉදිරියේදි සිදු කරනු ලබන යුද්ධයෙන් ජයග්‍රහණය කිරීමට තමන් උපකාර කරන බවත් ජය ලැබුණු පසු දිව්‍ය විමානයක් ඉදිකර දිය යුතු බවත් ගිවිස ගන්නා ලදි. ඉන්පසු දුටුගැමුණු රජු එළාර පරදවා ජයග්‍රහණය කළ අතර පොරොන්දුව ඉෂ්ට කිරීමක් වශයෙන් කතරගම දේවාලය ස්ථාපිත කොට ඇති බව සදහන් වේ.

ස්කන්ධ කුමාර හෙවත් කතරගම දෙවිදුන් හින්දු දෙවි කෙනෙකු බව ජනප්‍රවාදවල සදහන් වේ. එම කුමරුන් කතරගමට ආගමනය වීම සම්බන්ධව ජනී ජනයා අතර විවිධ විශ්වාසයන් පවතී. ඉන් එක් විශ්වාසයක් නම් කතරගම සිටි වල්ලි අම්මා නම් වැදි කාන්තාවක් කෙරේ කතරගම දෙවිදුන් පැහැද සිට ඇති බවයි. වල්ලි අම්මා සරණ පාවා ගැනීමට ද කද කුමරු කැමැත්ත ප්‍රකාශ කළ ද ඇය එම යෝජනාව ප්‍රතික්ශේප කොට ඇත. එවිට කද කුමරු කනස්සල්ලෙන් සිටින විට කද කුමරුගෙ බාල සොහොයුරා වූ ගණ දෙවියන් ඔහුට සහාය දී ඇති අතර වල්ලි අම්මා මැනික් ගගේ දිය නාමින් සිටින විට ගණ දෙවියන් ඇත් වේශයක් මවාගෙන ඇය ඉදිරිපිටට යාමෙන් වල්ලි අම්මා බියෙන් ඇළලී ගියා ය. එවිට කද කුමරු පැමිණ වල්ලි අම්මා බේරාගෙන ඇති අතර එම නිසාවෙන් ඇය කද කුමරු සරණ පාවා ගැනීමට කැමැත්ත දී ඇති බැවු මිනිසුන් විශ්වාස කරයි. මේ අතරම කද කුමරුන්ගේ බිරිදව සිටි තේවානි අම්මාද කතරගමට පැමිණ ඇති අතර කතරගම වල්ලි අම්මා කෝවිල සහ තේවානි අම්මා කෝවිල පිහිටා ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

මෙලෙසින් සිංහල, හිංදු , මුස්ලිම්, මෙන් ම වැදි ජනයා ද මෙම දෙවියන් කෙරෙහි විවිධ පුද පූජෝපහාර දක්වති. තම ජීවිතවලට ආශිර්වාදය ලබා ගැනීමටත්  ජීවිතයේ අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනිජ්මත් ඔවුන්ගේ ඒකායන අරමුණු වන්නෝය . ඉඩකඩම් මිලදී ගැනීමකදී , නව ව්‍යාපාර ආරම්භ කොරීමකදී  , යාන වාහන මිලදී ගැනීමකදී සහ විභාග කටයුතුවලදී කද සුරිදුගේ පිහිට ආශිර්වාදය ලබා ගැනීම මෙහි යනෙන බැතිමතුන්ගේ අභිප්‍රාය වී ඇත. එමෙන්ම සොර සතුරු උඅවදුරු වලින් ආරක්ෂා වීමටත් අණ වින හදි හූනියම් වලින් ආරක්ෂා වීමටත් , දියුණුව සොයා යන ගමනට රුකුලක් වීමටත් කතරගම දෙවිදුන්ට හැකියාව පවතින බැවු ගැමියෝ විශ්වාස කරති. දෙවිවුන්ගේ පිහිට ආරක්ෂාව පතනුයේ එම නිසාවෙනි. සිය ජීවිතවල දී මුහුණ දීමට සිදු වන අභියෝග සඵල කරගනු වස් දෙවියන්ට කන්නලවු කිරීමට බොහෝ ගම් වැසියෝ පුරුදුව සිටිති. පුද පඩුරු , මල් මාල, මල් වට්ටි  පූජා කරමින් භාරහාර කිරීමට විවිධ බැතිමතුන් කතරගම දේවාල කරා පැමිණෙනු දැකගත හැක.


 

උඩරට නර්තන සම්ප්‍රදාය ගුරු කොට ගෙන සිදු කරන උඩරට සාම්ප්‍රදායික ශාන්තිකර්ම

ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියනු ලබන ශ්‍රී ලංකාව වූ කලී සංස්කෘතිකමය වශයෙන් ඉහළින්ම වැජඹෙන රටකි. ශ්‍රී ලංකාව තුළ පාරම්පරික  සංස්කෘතිකමය දායාදයන...