මේ ලෝකයෙහි ජීවත් වන්නේ මිනිසුන් වන අප පමණක් නොවේ. විවිධාකාර වූ සත්ත්වයෝ මේ මිහිතලය මත ජීවිකාව ගෙන යති. නමුත් මේ සෑම ජීවි කාණ්ඩයකටම වඩා මිනිසා මේ මිහිමත සුවිශේෂි වේ. මිනිසාගේ කායික දේහය ගත් කළ සෘජුව දෙපයින් සිට ගැනීමට හැකි වීම, ඇවිදීම, දේහ ස්කන්ධයට සාපේක්ෂව සිතීමට හැකි විශාල මොළයක් තිබීම, අදහස් ප්‍රකාශ කිරීම වැනි සුවිශේෂී ලක්ෂණ රාශියකින් සමන්විත වේ.
එසේම මෙලොව මනුෂ්‍යයන් නොවන අමනුෂ්‍යයන් වශයෙන් හඳුන්වන පියවි ඇසට නොපෙනෙන කාණ්ඩයක් ද සිටියි. බොහෝ විට මිනිසුන්ට සමාන රූපකායක් ඇති ජීවි කොට්ඨාසයකි. සිංහල භාෂාවෙන් මොවුන් අමනුෂ්‍යයින් ලෙස නාමකරණය කළ ද බටහිර ජාතීන් මොවුන් හඳුන්වනුයේ ව්‍යාජ මිනිසුන් හෝ මිනිස් වෙස් ගත්තන් ලෙසිනි. මෙවන් අමනුෂ්‍යයින් වර්ග කිහිපයක් හඳුනාගත හැකිය.
- දෙවියන්
බුද්ධ දේශනාව අනුව 'දේව' යන ව්‍යවහාරයෙන් හඳුන්වනුයේ සදෙව් ලෝකවල ඉපිද දිව්‍යමය සැප සම්පත් විඳින උසස් ජීවි කොට්ඨාසයකි. මෙම දෙවිවරු උපදින දිව්‍යලෝක හයක් පිළිබඳව සඳහන් වේ.
1. චාතුම් මහා රාජිත දිව්‍ය ලෝකය
2. තාවතිංසා දිව්‍ය ලෝකය
3. යාමය දිව්‍ය ලෝකය
4. තුසිත දිව්‍ය ලෝකය
5. නිම්මාණරති දිව්‍ය ලෝකය
6. පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකය
මේවාට සදිව්‍ය ලෝක ලෙස ද පවසයි. එසේම මෙම දිව්‍ය ලෝකවල උප්පත්තිය ලබන දෙවිවරුන්ට අධිපති වන දෙවිවරුද සිටිති.
1. චාතුම්මහා රාජිත දෙව්ලොවට අධිපති වන්නේ සතරවරම් දෙවිවරුය.(ධ්‍රථරාෂ්ඨ විරූඨ, විරූපාක්ෂ,වෛශ්‍රවණ )
2. තාවතිංසායත්ථ සහ චාතුම්ම්හාරාජිත දෙදෙව් ලොවට අධිපති වන්නේ සත්දෙව් මහ රජුය.
3. යාම දෙව්ලොවට අධිපති වන්නේ සුයාම දෙවිඳුන් වේ.
4. තුසිත දෙව්ලොවට අධිපති සංතුෂිත දෙවියන් ය.
5. නිම්මාණරති දෙව්ලොවට අධිපති සුනිම්මිත දෙවියන් වේ.
6. පරනිම්මිත වසවර්ති දෙව්ලොවට අධිපති වසවර්ති දෙවියන්ය.
- යක්ෂයෝ
ඈත අතීතයේ සිටම මිනිසුන්ගේ ඇදහිලි විශ්වාසයන්හි යක්ෂ සංකල්පය ප්‍රබලව පැවතුනි. අතීතයේ මෙන්ම වර්තමානයේදීත් ලෙඩ දුක් කරදර වලින් බේරීමට යක්ෂ බලවේගයන්ට යාග හෝම ආදිය කරන්නට විය. එමෙන්ම දෙවියන්ගේ ප්‍රතිවිරුද්ධ අමනුෂ්‍ය පාර්ශවය මෙම යක්ෂයන්ය. දෙවි දේවතාවුන් මෙන්ම යක්ෂයන් පිළිබඳව ද ශ්‍රී ලාංකික සමාජය තුළ විවිධාකාර පුරාවෘත්ත සහ ජනප්‍රවාද රාශියක් ඇත. මෙරට ග්‍රාමීය ප්‍රදේශවල යක්ෂයන් උදෙසා දොළ පිදේනි දීම් සහ තොවිල් නැටීම ආදිය එදා මෙන් නැතත් කලාතුරකින් හෝ සිදු කරන බව දැකිය හැකිය. වර්තමානයේ දී ලාංකික සංස්කෘතිය තුළ ව්‍යවහාර කෙරෙන "යක්ෂයා" හෝ "යකා" එදා හෙළයේ විසූ එක් ජන කොට්ඨාසයක් වන "යක්ෂ ගෝත්‍රිකයන්ට" වඩා බෙහෙවින් වෙනස් අමනුෂ්‍යයින් කොට්ඨාසයකි.
- රාක්ෂයෝ
දැඩි ගතිගුණවලින් යුක්ත යක්ෂයන් කොට්ඨාසයකි. බොහෝ විට විරූපී රූපකායකින් සමන්විත වන අතරම අවස්ථාව අනුව විවිධ වේශයන්ගෙන් පෙනී සිටින බව ද කියයි.
- ප්‍රේතයෝ
බුදු දහමේ දැක්වෙන ආකාරයට පියවි ඇසට නොපෙනෙන ධාතු වර්ගයකින් නිර්මිත විවිධ ප්‍රමාණයේ රූපකායකින් යුක්ත සත්ත්වයන් කොට්ඨාසයක් ප්‍රේත නොහොත් පෙරේත ලෙස හඳුන්වයි. සත්ත්වයින් උප්පත්තිය ලබන අතිශයින්ම කටුක සහ දුක්ඛිත ලෝක වන "නරක" හතරෙන් එකක් වන්නේ ද පෙරේත නරකයයි. පෙරේත ආත්මයක උප්පත්තිය ලබන්නන්ට ආහාර නොමැතිව හෝ පානය කිරීමට දිය බිඳක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. මෙම අමනුෂ්‍යයන් ගත කරන්නේ ද අතිශයින් පිළිකුල් සහගත අපිරිසිදු ජීවිතයකි. ඔවුන් මිනිසුන්ගේ මල, මුත්‍ර, කැහි, සොටු සහ කබ පවා ආහාර වශයෙන් ගන්නා බව මිනිසුන් විශ්වාස කරයි.
- භූතයෝ
ප්‍රාණය නිරුපද්‍රිත අයෙකුගේ ආත්මය වෙනත් ආත්මයක නොඉපද අවකාශය තුළ අරමුණක් නොමැතිව සැරිසරයි. මෙම අමනුෂ්‍යය කාණ්ඩය ඇතැම් විට හොල්මන් , අවතාර ලෙසින් ද හඳුන්වනු ලබයි.



