Search This Blog

Wednesday, October 30, 2024

මේ මිහිතලයේ උප්පත්තිය ලබන ජීවින් කොහොමද මනුස්ස අමනුස්ස කියල බෙදෙන්නේ ?

මේ ලෝකයෙහි ජීවත් වන්නේ මිනිසුන් වන අප පමණක් නොවේ. විවිධාකාර වූ සත්ත්වයෝ මේ මිහිතලය මත ජීවිකාව ගෙන යති. නමුත් මේ සෑම ජීවි කාණ්ඩයකටම වඩා මිනිසා මේ මිහිමත සුවිශේෂි වේ. මිනිසාගේ කායික දේහය ගත් කළ සෘජුව දෙපයින් සිට ගැනීමට හැකි වීම, ඇවිදීම, දේහ ස්කන්ධයට සාපේක්ෂව සිතීමට හැකි විශාල මොළයක් තිබීම, අදහස් ප්‍රකාශ කිරීම වැනි සුවිශේෂී ලක්ෂණ රාශියකින් සමන්විත වේ.

එසේම මෙලොව මනුෂ්‍යයන් නොවන අමනුෂ්‍යයන් වශයෙන් හඳුන්වන පියවි ඇසට නොපෙනෙන කාණ්ඩයක් ද  සිටියි. බොහෝ විට මිනිසුන්ට සමාන රූපකායක් ඇති ජීවි කොට්ඨාසයකි. සිංහල භාෂාවෙන් මොවුන් අමනුෂ්‍යයින් ලෙස නාමකරණය කළ ද බටහිර ජාතීන් මොවුන් හඳුන්වනුයේ ව්‍යාජ මිනිසුන් හෝ මිනිස් වෙස් ගත්තන් ලෙසිනි. මෙවන් අමනුෂ්‍යයින් වර්ග කිහිපයක් හඳුනාගත හැකිය.

  • දෙවියන් 

බුද්ධ දේශනාව අනුව 'දේව' යන ව්‍යවහාරයෙන් හඳුන්වනුයේ සදෙව් ලෝකවල ඉපිද දිව්‍යමය සැප සම්පත් විඳින උසස් ජීවි කොට්ඨාසයකි. මෙම දෙවිවරු උපදින දිව්‍යලෝක හයක් පිළිබඳව සඳහන් වේ. 

1. චාතුම් මහා රාජිත දිව්‍ය ලෝකය

2. තාවතිංසා දිව්‍ය ලෝකය

3. යාමය දිව්‍ය ලෝකය

4. තුසිත දිව්‍ය ලෝකය

5. නිම්මාණරති දිව්‍ය ලෝකය

6. පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකය

මේවාට සදිව්‍ය ලෝක ලෙස ද පවසයි. එසේම මෙම දිව්‍ය ලෝකවල උප්පත්තිය ලබන දෙවිවරුන්ට අධිපති වන දෙවිවරුද සිටිති. 

1. චාතුම්මහා රාජිත දෙව්ලොවට අධිපති වන්නේ සතරවරම් දෙවිවරුය.(ධ්‍රථරාෂ්ඨ විරූඨ, විරූපාක්ෂ,වෛශ්‍රවණ )

2. තාවතිංසායත්ථ සහ  චාතුම්ම්හාරාජිත දෙදෙව් ලොවට අධිපති වන්නේ සත්දෙව් මහ රජුය. 

3. යාම දෙව්ලොවට අධිපති වන්නේ සුයාම දෙවිඳුන් වේ. 

4. තුසිත දෙව්ලොවට අධිපති සංතුෂිත දෙවියන් ය. 

5. නිම්මාණරති දෙව්ලොවට අධිපති සුනිම්මිත දෙවියන් වේ.

6. පරනිම්මිත වසවර්ති දෙව්ලොවට අධිපති වසවර්ති දෙවියන්ය.

  • යක්ෂයෝ 

ඈත අතීතයේ සිටම මිනිසුන්ගේ ඇදහිලි විශ්වාසයන්හි යක්ෂ සංකල්පය ප්‍රබලව පැවතුනි. අතීතයේ මෙන්ම වර්තමානයේදීත් ලෙඩ දුක් කරදර වලින් බේරීමට යක්ෂ බලවේගයන්ට යාග හෝම ආදිය කරන්නට විය.  එමෙන්ම දෙවියන්ගේ ප්‍රතිවිරුද්ධ අමනුෂ්‍ය පාර්ශවය මෙම යක්ෂයන්ය. දෙවි දේවතාවුන් මෙන්ම යක්ෂයන් පිළිබඳව ද ශ්‍රී ලාංකික සමාජය තුළ විවිධාකාර පුරාවෘත්ත සහ ජනප්‍රවාද රාශියක් ඇත. මෙරට ග්‍රාමීය ප්‍රදේශවල යක්ෂයන් උදෙසා දොළ පිදේනි දීම් සහ තොවිල් නැටීම ආදිය එදා මෙන් නැතත් කලාතුරකින් හෝ සිදු කරන බව දැකිය හැකිය. වර්තමානයේ දී ලාංකික සංස්කෘතිය තුළ ව්‍යවහාර කෙරෙන "යක්ෂයා" හෝ "යකා" එදා හෙළයේ විසූ එක් ජන කොට්ඨාසයක් වන "යක්ෂ ගෝත්‍රිකයන්ට" වඩා බෙහෙවින් වෙනස් අමනුෂ්‍යයින් කොට්ඨාසයකි. 

  • රාක්ෂයෝ 

දැඩි ගතිගුණවලින් යුක්ත යක්ෂයන් කොට්ඨාසයකි. බොහෝ විට විරූපී රූපකායකින් සමන්විත වන අතරම අවස්ථාව අනුව විවිධ වේශයන්ගෙන් පෙනී සිටින බව ද කියයි. 

  • ප්‍රේතයෝ

බුදු දහමේ දැක්වෙන ආකාරයට පියවි ඇසට නොපෙනෙන ධාතු වර්ගයකින් නිර්මිත විවිධ ප්‍රමාණයේ රූපකායකින් යුක්ත සත්ත්වයන් කොට්ඨාසයක් ප්‍රේත නොහොත් පෙරේත ලෙස හඳුන්වයි. සත්ත්වයින් උප්පත්තිය ලබන අතිශයින්ම කටුක සහ දුක්ඛිත ලෝක වන "නරක" හතරෙන් එකක් වන්නේ ද පෙරේත නරකයයි. පෙරේත ආත්මයක උප්පත්තිය ලබන්නන්ට ආහාර නොමැතිව හෝ පානය කිරීමට දිය බිඳක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. මෙම අමනුෂ්‍යයන් ගත කරන්නේ ද අතිශයින් පිළිකුල් සහගත අපිරිසිදු ජීවිතයකි. ඔවුන් මිනිසුන්ගේ මල, මුත්‍ර, කැහි, සොටු සහ කබ පවා ආහාර වශයෙන් ගන්නා බව මිනිසුන් විශ්වාස කරයි.

  • භූතයෝ

ප්‍රාණය නිරුපද්‍රිත අයෙකුගේ ආත්මය වෙනත්  ආත්මයක නොඉපද අවකාශය තුළ අරමුණක් නොමැතිව සැරිසරයි. මෙම අමනුෂ්‍යය කාණ්ඩය ඇතැම් විට හොල්මන් , අවතාර ලෙසින් ද හඳුන්වනු ලබයි.

Saturday, October 12, 2024

කොහොඹා කංකාරියේ එන කොහොඹා දෙවිවරු..

උඩරට නැටුමේ මුදුන් මල්කඩ ලෙස පිදුම් ලබන කොහොඹා කංකාරියේ එන කොහොඹා දෙවිවරු තුන් කට්ටුවක් සිටින බව සඳහන් වන්නකි. හෙළ දේව වංශයේ කොහොඹා දෙවිවරු තිදෙනෙක් ගැන කියැවේ. ඒ "පරණ කොහොඹා" , "මහ කොහොඹා" සහ "අලුත් කොහොඹා" යන තිදෙනාය. මොවුන් "කොහොඹා තුන් කට්ටුව" යනුවෙන් ද හඳුන්වනු ලබයි. මේ තුන් කට්ටුව ඉන්දියාවේ සිට ලක්දිවට සංක්‍රමණය වී ඇති බැව් "කොහොඹා කංකාරියේ සඳහන් වේ. කොහොඹා දෙවියන්ගේ උප්පත්තිය පිළිබඳව විවිධ මතිමතාන්තර පවතී. 

රාවණා විසින් සීතාව පැහැරගෙන ගිය බවට ජනප්‍රවාදය තුළ මතයක් පවතී. එසේ පැහැරගෙන යාම නිසා සීතාගේ පතිවත පිළිබඳව විශ්ණුට සැක පහළ වෙනවා. ඒ නිසාම සීතාව වනය තුළද මරා දැමීමට සමන් දෙවියන්ට භාර කරනවා. නමුත් සමන් දෙවියන්ට සීතාව මැරීමට කැමති වෙන්නෙ නෑ. ඒ නිසා සමන් දෙවියන් සීතාට  අභය දානය දී ඇති බැව් සඳහන් වෙනවා. නමුත් විශ්ණුගේ ඉල්ලීම ඉෂ්ඨ කළ බව ඇඟවීමට වෙන අයෙකුගේ ලේ වලින් කඩුව තෙත් කරගෙන ගොස් විශ්ණුට සීතා මැරූ බව දන්වලා තියෙනවා. 

මේ අතරතුර සීතා වනයක කල් ගෙවන විට සීතා ගැබ් ගෙන සිටි නිසා වනය තුළදීම දරුවා බිහි කරන්නට සිදු වෙනවා. ඇයට ඍෂිවරයෙක් වනය තුළදී තමන්ගේ ආශ්‍රමයේ කාන්තාවන් ලවා උදව් උපකාරද ලබා දෙමින් දරුව හදා වඩා ගැනීමට සහය වෙනවා. දිනක් සීතා දේවිය ඵලවැල නෙලීමට වනයට ගිය අතරතුර තොටිල්ලේ සිටි දරුවා තොටිල්ලෙන් බිමට වැටෙනවා. දේව දරුවන් මිනිසුන්ට ඇල්ලීම අකැපැයි ලෙස සීතූ ආරාමයේ සිටි ඍෂිවරයා තොටිල්ලට මානෙල් මලක් දානවා. ඒ මලෙන් තවත් කුමරෙක් ඉපදෙනවා. ඵලවැල නෙලාගෙන ආරමයට පැමිණි සීතා දෙවිය මෙය දැක තොටිල්ල යට සිටි දරුවා දැක ඍෂිවරයාගෙන් දරුවන් දෙදෙනා ගැන විමසනවා. ඍෂිවරයා තවත් දරුවෙන් මවල පෙන්වනවා සීතා දේවියට. මේ සීතා දේවිය දරුවන් තිදෙනාම ඇති දැඩි කරනවා. මලෙන් උපන් කුමරෙකුත් සිටි නිසාවෙන් මලෙන් උපන් කුමරු සමඟ ඇති දැඩි උනු අනිත් කුමාරවරුන් දෙදෙනාත් ඇතුළුව මේ තිදෙනා මලේ දෙවිවරු තුන් කට්ටුව ලෙස  හඳුන්වනවා. කොහොඹා දෙවියන් ලෙස හඳුන්වන්නේද මේ මලේ දෙවියන්ට බවට මතයක් ජනප්‍රවාදය තුළ පවතී. එමෙන්ම කොහොඹ ගහට අධිපති නිසාවෙන් කොහොඹ දෙවියන් ලෙස හඳුන්වන බවද කියැවේ. 

එමෙන්ම මේ කොහොඹ දෙවියන්ගේ උප්පත්තිය  පිළිබඳව තවත් මතයක් පැවතෙනවා. දඹදිව බරණැස් නුවර රජතුමාගේ දුව චන්ද්‍රවතී කුමරියත් කලිඟු රටේ රජතුමාගේ පුත් සුරඹා කුමරුන් අතරත් රහස් පෙම් පලහිලව්වක් ඇති වෙනවා. කාලයාගේ ඇවෑමෙන් චන්ද්‍රවතී කුමරිය ගැබ් ගැනීමක් සිදු වෙනවා. ඒ නිසාම කුමරුත් කුමරියත් යන දෙදෙනාම රහසේම කැලයට පලා යනවා. ඒ යන අතරතුරේදී කොහොඹ ගහක් යටදී මේ දරුවා බිහි කරනවා. කොහොඹ ගසක් යට උපන් හෙයින් මේ පුත් කුමාරුන්ට කොහොඹ දෙවියන් ලෙස පවසන බවට මතයක් පවතී.

මහා යාතිකාවේ සඳහන් වන ආකාරයට කොහොඹා දෙවි තුන් කට්ටුවේ එන අලුත් කොහොඹා ස්වේදේශීය දේවාත්මයක් වන අතර ලක්දිව වැලිහෙල නම් ප්‍රදේශයේ උපත ලැබූවෙකි. පරණ කොහොඹා ඉන්දියාවේ මධුරාපුර නුවර උපන්නෙක් වන අතර මහා කොහොඹා බරණැස්පුර උපන්නෙක් බවත් මහා යාතිකාවේ කියැවේ. 

වැලිහෙල නම් ගමේ උපන්නෙක් වන අලුත් කොහොඹා දෙවියන්ගේ මව වෙළඳ කුලයක උපන් ලෝකනාථා නම් කතකි. කොහොඹා කුමරු සත් අවුරුදු වයස සපුරන විටම තම දෙමාපියන් හැර යන බවට නැකැත්කරුවන් පවසා ඇත. කොහොඹා දෙවියන්ට ආදීවාසීන් සමඟ ද සබඳතාවක් පවතින පුරාවෘත්තවල සඳහන් වේ. 

කොහොඹා යකා ලෙසද හඳුන්වන කොහොඹා දෙවියන් සඳහා පවත්වනු ලබන අභිචාර විධිය කොහොඹා ශාන්තිකර්මයයි.  ඇතැම් පෙදෙස්වල කොහොඹා යක්කම යනුවෙන් ද මෙම අභිචාර විධිය හඳුන්වනු ලබයි. සතර කෝරළය, සත් කෝරළය, උඩුනුවර, යටි නුවර, හාරිස්පත්තුව, දුම්බර ආදී ප්‍රදේශවල මෙම  ශාන්තිකර්මය බහුලව සිදු කෙරේ.

Friday, October 11, 2024

භවයන් දහතුනකදී ඉපිද යන එන මං අහිමි වූ මංගර දෙවියෝ

"මංගර" එහෙමත් නැත්නම් මංගාර නමින් හඳුන්වන දෙවියන් අතීතයේ කැලෑබද ප්‍රදේශයන්වල ජීවත් වූ මිනිසුන් මෙන්ම තමන් ඇති කරන සතුන්, හරකා බාන ආදිය වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට පිහිට පැතූ දෙවි කෙනෙකු විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම රුහුණු පුරයට බිංතැන්න ප්‍රදේශයට අණසක පතුරුවන ප්‍රාදේශීය දෙවි කෙනෙකු ලෙසත් සැලකෙන මංගර දෙවියන් ගව පට්ටලවලට හා කිරි එළදෙනුන්ට සම්බන්ධ දෙවි කෙනෙකු ලෙසත් දඩයක්කරුවන්ගේ දෙවියන් ලෙසත් සලකේ. මිනිසුන්ට නොපෙනී ගොපල්ලකු මෙන් ගවයන් පසු පස යන බවට ජනයා අතර විශ්වාසයක් පවතී. පෙර කල රුහුණේ මී කිරි කර්මාන්තය රඳා පැවතුණේ මෙම දෙවියන් කෙරෙහි තබා ඇති විශ්වාසය පදනම් කරගෙන බව ද පවසයි. මංගර දෙවියන්ගේ ද උප්පත්තිය පිළිබඳව විවිධාකාර මතිමතාන්තර ඇති අතර ඇතමෙකු මෙම දෙවියන් ඉන්දියාවේ උපත ලද්දකු ලෙසින් ද, තවත් සමහරකු  ලංකාවේ උපත ලැබූ අයකු බව ද සඳහන් කරයි. වඩාත් ප්‍රචලිත ව ඇත්තේ ඔහු ලක්දිව මායා රටේ උපත ලද්දකු ලෙසින් ය.  

පහතරට ශාන්තිකර්ම තුළ සුවිශේෂී ස්ථානයක් මෙම මංගර දෙවියන් හිමි කරගෙන සිටියි. අතීතයේ  පුද පූජා කිරීමට මෙම දෙවියන්ට නිශ්චිත දේවාලයක් නොමැති වුවත් වර්තමානය වන විට මීගමුව, කදිරගොඩ, බලන්ගොඩ ආදී ප්‍රදේශවල මංගර දෙවියන් උදෙසා ඉදිවූ දේවාල කිහිපයක් පවතියි. එමෙන්ම කදිරගොඩ ප්‍රදේශයේ මංගර දෙවියන් උදෙසා මී ගවයෙකු සරසා පෙරමුණේ තබන වාර්ෂික පෙරහැර මංගල්‍යයක් සහ මංගර මඩුව නමින් දේව යාගයක් ද පවත්වනු ලැබේ. 

මංගර දෙවියන්ගේ උත්පත්ති වාර දහ තුනක් පිළිබඳ මංගර කන්නලව්වේ සහ මංගර සැහැල්ලේ සඳහන් වේ. ආත්මභවයන් කිහිපයකදීම මතු බුදු බව පතා ඇති බව ද එහි කියැවේ. එහි එන එක් උප්පත්ති කතාවක් නම් අඳුන්ගිර පර්වතයෙහි සිල් රකින පත්තිනි දේවියගේ සීල් බලය විමසාලීමට පැමිණි ශක්‍රයාට දන් දීමට අඳුන්ගිරි පර්වතය පයෙන් මඬ කොට එහි සුවඳ ඇල් වී ඉස ඉන් ලද අස්වැන්න නෙළා රන් බඳුනක දමා ගරන විට එහි තිබී හමු වූ මුතු ඇටයකින් සිදු වූ උපතයි.  

එමෙන්ම මංගර දෙවියන්ගේ දහතුන් වන ආත්මයේදී  මී ගවයෙකුගෙන් පහර කා මිය ගිය පසු නැවත ඔහුගේ පණ ලබා ගැනීමට කිරි ඉතිරවීමට අවශ්‍ය වූ විට ඊට අවශ්‍ය කහ ලබා දී ඇත්තේ පත්තිනි දේවිය විසින් බව සඳහන් වේ. මංගර දෙවියන්ගේ උත්පත්තිය සමඟ පත්තිනි දේවතාවියගේ සමීප සබඳතාවක් ඇති බව මින් ප්‍රකට වන්නකි. එමෙන්ම මංගර දෙවියන්ගේ උප්පත්ති වාර දහතුනට අනුව, එක් වරක් පත්තිනි දේවිය විසින් ගරන ලද සහල්වල තිබී හමු වූ මුතු කැටයක් මඟින් ද, කිතල්වර නම් රජෙකුගේ උර මඬල පලාගෙනද, මහාකෙල නම්  නා රජුගේ චින්තා මාණික්‍යයෙන්ද, ශක්‍රයාගේ රන්පොත ලියූ රුවන් පන්හිඳේ මුදුන් කොත් මාලාවෙන්ද, ජලයෙන් ද, අනෝතත්ත විලේ මානෙල් මල් දහසකට මැද්දේ වූ  මුදුන් මලේ රේණුවකින් ද, මායා රටේ මායා රජුට දාව අග බිසවගේ කුසින් ද, තරු රැසින්ද, දිය නළයෙන් ද, සඳ රැසින් ද, හිරු රැසින් ද, අකුණකින් ද සහ දහතුන්වන වර මායා රජුගේ අග බිසවගේ කුසින් "බුදු සිරු" නමින් ද උපත ලද බව කියැවේ. 

පුංචි සන්ධියේ සිටම කැලයට ගොස් වන සතුන් සමඟ ඇති දැඩි වූ බුදු සිරු දඩයමට මෙන්ම වන සතුන් ඇල්ලීමට ද බොහෝ දස්කම් පෑ අයෙකි. බුදු සිරුගේ දස්කම් ලොව පුරා පැතිර ඇත. මේ අතරතුර කදිරාගොඩ නම් ප්‍රදේශයේ මිනිසුන්ට හානි කරමින් සැරිසරන කුළු මීමෙකු පිළිබඳ සැල වූ බුදු සිරු පිරිවරද සමඟින් නැව් නැග විත් උස්සන්ගොඩින් ලංකාවට ගොඩබැස ඇති බව සඳහන් වේ. 

උස්සන්ගොඩ සිට කදිරාගොඩ ප්‍රදේශයට පැමිණි මංගර සහ පිරිස මහන්සි හැරීමට නුග සෙවණක නතර විය. එම පිරිසෙහි සිටි එඬේර කුමරෙකු කුළු මීමා පිළිබඳව සෙවීමට පිටත් කොට බුදු සිරු ඇතුළු අනෙක් පිරිස එම නුග ගසෙහි තිබූ මියක් කැඩීමට ප්‍රයත්න දැරූවද එය ද කළ නොහැකී වූ නිසා බුදු සිරු විසින් නුග ගස කපා මීය පිරිස අතරේ බෙදා ඉන් කොටසක් එඬේර කුමරුන්  හටද ඉතිරි කොට තිබුණි. 

පෙර කලෙක උපන් කිරි වෛරයක් හේතුවෙන් පලි ගැනීමේ අදහසින් බුදු සිරු පැමිණෙන තෙක් ඔහුගේ සහෝදරයා නුග ගසෙහි අරක් ගෙන සිටි අතර නුග ගස කැපීමත් සමඟ කෝපයට පත් ඔහු මීමෙකුගේ වෙස් ගෙන අසල සිටි ගව රැළකට ඇන මරා දමන්නට විය. බුදු සිරු එය දැක මංගර මන්ද ගෙන මීමා ඇල්ලීමට උත්සාහ කළ ද මීමා බුදු සිරු ඇතුළු සහචර පිරිසට ද ඇන මරා දැමුවේය. කුළු මීමා පිළිබඳව සෙවීමට කදිරගොඩට ගිය එඬේර කුමරුන් මෙය දැක කෝපයට පත්ව සිය පිරිවර මැරූ පලිය ගැනීමට මීමා සමඟ සටන් කොට මීමා මරා දැමීය. 

මරන ලද මීමාගේ කකුල් හතර කණු ලෙසට ගෙන ඉල ඇට යොදාගෙන කිරි මැස්සක් සාදා දණහිස්වලින් ලිප්ගල් බැඳ, මීමාගේ සම උඩු වියනටද බැඳ, බඩවැල් වටතිරයට ගත් එඬේර කුමරුන් මීමාගේ හිස් කබල කිරි හාලියටත් ගෙන මීමාගේ මොළය මිරිකා ගත් දියරයෙන් කිරි ඉතිරවීය. ඊට අවශ්‍ය කහ පත්තිනි දෙවියන් විසින් ලබා දුන් බවද කියැවේ.  එසේ උතුරවන ලද කිරි පිරිසට ඉසීමෙන් බුදු සිරු ඇතුළු පිරිස නැවත ජන්මය ලද අතර එතැන් සිට බුදු සිරු මංගර නම් විය. මිය ගිය මීමාගේ ඇටකටු, සම් ආදියට ද කිරි ඉසීමෙන් මීමා ද යළි ජීවය ලද අතර එතැන් පටන් මීමා මංගරගේ වාහනය බවට පත් විය. කිරි ඉතිරවීමේ ආරම්භය ද මෙය බවට සැලකෙන අතර සබරගමු සම්ප්‍රදායේ කිරිමඩු ශාන්තිකර්මය සැකසී ඇත්තේ ද මෙය පදනම් කොට ගෙන බව සැලකේ. එමෙන්ම ගොපළු යකා ලෙස ගව පාලනයේදී හඳුන්වන්නේ එඬේර කුමරුන් බවට ද විශ්වාසයක් පවතී.

Thursday, October 10, 2024

සීනිගම දෙවොලේ වැඩ සිටින දෙවොල් දෙවියන්ගේ වතගොත

 
බස්තම වමතට දරණ දෙවින්දා

ලස්සන ඇඳුමින් සැරසි රජින්දා 

උස්සන පන්දම සුරතෙහි රන්දා

ඇස්හැර යන්නට වඩිනු නිරින්දා 

හින්දු දහමෙහි ආභාසය සහිතව මෙරට සංස්කෘතියට පැමිණි දෙවියන් සමූහයක් බව සඳහන් වෙයි. දෙවියන් හත් දෙනෙකුගෙන් යුත් කට්ටුවක් නිසා "දෙවොල් සත් කට්ටුව" වශයෙන් හඳුන්වනු ලබයි. මෙම සත් කට්ටුව සහෝදරයන් වන බව උත්පත්ති කතාවල සඳහන් වේ. දෙවොල් සාමි, අලුත් බණ්ඩාර, මහා සාමි, සඳරැස් සාමි, තෙදරැස් සාමි සහ ගගේ බණ්ඩාර යනු එම සත් කට්ටුවයි. 

මෙම සත් කට්ටුව ඉන්දියානු ප්‍රාන්ත රජ කෙනෙකු වූ රාමසිංහ නම් රජුට දාව ඔහුගේ බිසෝවරුන් සත් දෙනෙකු විසින් බිහි කරන ලද දරුවන්ය. කුඩා කල සිටම දුසිරිතට යොමු වුනු මෙම කුමරුන් සත් දෙනා තරුණ වියට එලඹෙන්නටත් පෙර සිටම දඩබ්බර චරිත විය. මොවුන් රට වැසියන්ට කරන අකටයුතුකම් ගැන කෝපයට පත් වූ රාමසිංහ රජතුමා ඔවුන් සියලු දෙනාම රටින් පිටුවහල් කරන්නට විය. ඉන් පසු එම  කුමාරවරුන් සත් දෙනා තම සහචර පිරිසක්ද සමඟින් නැව් නැඟ ලක්දිව සීනිගම වෙරළට පැමිණියහ. නමුත් එකල එම ප්‍රදේශය භාරව සිටි පත්තිනි දෙවියන්ගෙන් මෙම පිරිසට ලංකාවට පැමිණීමට අවසර නොලැබුණි. පත්තිනි දේවිය ඔවුන්ගේ ගමන වළක්වාලීමට එකිනෙකා ඉදිරියේ ගිනි ජාලා හතක් මවන්නට විය. නමුත් දෙවොල් කුමාරවරු සත් කට්ටුව ඒ ගිනිමැල හත පාගා නිවා දැමීමට ද සමත් විය.

ඉන් අන්තුරුව පත්තිනි දෙවියන්ගේ අණද නොතකා ඔවුන් සීනිගම සිය වාසස්ථානය බවට පත් කරගන්නට විය. එතැන් පටන් පෙර කළ කී ලෙසටම යළිත් සුපුරුදු දාමරික ක්‍රියාවල යෙදීමෙන් කතරගම දෙවිවුන්ගේ දේව උදහසටද ලක් විය. එවිට ඔවුන්ගෙන් එක් අයෙකුට හැර අනෙක් සියලු දෙනාට සීනිගම අතහැර වෙනත් ප්‍රදේශවලට යන ලෙසට කතරගම දෙවියන් අණ කරන ලදි. ඒ නිසා එක් අයෙකු සීනිගම නතර වූ අතර ඉතිරි කුමරුන් සය දෙනා සිය පිරිස සමඟ ලංකාවේ වෙනත් ස්ථාන හයක පදිංචි විය. එලෙසින් පසු කාලයේදී ඔවුන් දෙවොල් දෙවියන් හත් කට්ටුව බවට පත් විය. 

දෙවොල් දෙවියන් තමන් කරා පැමිණෙන පිරිසට උදවු උපකාර කරනුයේ විරුද්ධවාදියෙකුගෙන් පළි ගැනීමට හෝ දඬුවම් කිරීමට බව අසන්නට ලැබේ. ඒ ඔවුන් සතු දුර්ගුණයන් ඉස්මතු වීම නිසා බව පෙන්වා දී ඇත. මේ නිසාම දෙවොල් දෙවියන් කෝපයට පත් වූ විට තමන්ට ආවතේව කරන කපුවාද මරා දැමූ අවස්ථා ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි.

දෙවොල් දෙවියන්ගේ උප්පත්තිය ගැන තවත් කතාවක් නම් දෙවොල් දෙවියන් දඹදිව රාමසිංහ රජුගේ මහාසාමි නම් පුතෙකු බවයි. මෙම රජතුමා තම පුතු නැවකට ගොඩකරවා රටින් පිටුවහල් කළ පසු අතරමඟදී යාත්‍රාව බිඳී විශ්මකර්මයකින් වැනි මවන ලද පහුරක් ආධාරයෙන් ලක්දිව යාපා පටුනට ගොඩ බැස ඇති බවයි. එමෙන්ම එහිදී නාථ දෙවියන් විරෝධය පෑම නිසාවෙන් හික්කඩුව, සීනිගම ප්‍රදේශයට පැමිණි බවත්ය. සීනිගම දෙවොල් පුරාවෘත්ත කතාවල දැක්වෙන අයුරින් දෙවොල් දෙවියන් ලංකාවේ සථාන හතකදී එලවා දැමූ බව පැවසේ. නාථ දෙවියන් යාපා පටුනේදීද, කතරගමදී කතරගම දෙවියන් විසින් ද, සමනල් කන්දේදී සුමන සමන් දෙවියන් ද දෙවුන්දර තුඩුවේදී විශ්ණු දෙවියන් විසින් ද, ගිනිතොට සහ උඩුගල් පිටියේදී මහා බ්‍රහ්මයා විසින් ද රිටිගල් දේවොලේදී රිටිගල් බණ්ඩාර දෙවියන් විසින් ද පලවා හරිනු ලැබ ඇති බව සිංහල දේව පුරාණයේ සඳහන් වේ. හික්කඩුව ප්‍රදේශයට මුහුදේ ප්‍රධාන දෙවොල් දේවාලය පිහිටා තිබෙන අතර උණවටුන, රූමස්සල, වේරගොඩ, අමනාවල දෙවොල් දේවාල පවතී.

Tuesday, October 8, 2024

වන්නිකරයේ ගැමියා අතර ගරු බුහුමානයට පත් අයියනායක දෙවියන්...

සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරී                     ම

කෙම්වර දවස්වල පානින් සැරසී                 ම

වන අතු කඩා ගස් දෙබලක දැවටී               ම

මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම

අතීතයේ මෙන්ම වර්තමානයේදීත් පුත්තලම පෙදෙසේ උතුරු කොටසෙහි මන්නාරම තෙක් ප්‍රදේශයන්හි ජීවත් වන ග්‍රාමීය ජනයාගේ එකම ගැලවුම්කරුවා ලෙසින් අයියනායක දෙවියන් ගරු බුහුමානයට පාත්‍ර විය. කරේනාර්, අයියානාරේ, අයියානාථ, කයියනාර්, හරිහරපුත්ර, මහා සාස්තා යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වනු ලබන්නේද මෙකී අයියනායක දෙවියන්මය. රාජ වන්නිය සහ කුමාර වන්නිය යන ප්‍රදේශ ද්විත්වයටම බලපරාක්‍රමය විහිදුවාගෙන සිටිනුයේ අයියන්නායක දෙවියන්‍ ය. 

අයියනායක යනු ගම්පල යුගයේ බුවනෙකබාහු රජ කාලයේ ආර්ය පිරිසක් සමඟ ලංකාවට පැමිණි අයෙක් බව වන්නියේ ජනයා අතර විශ්වාසයක් පවතී. අයියනායක යන නාමය ද්‍රවිඩ නාමයක් බවත් වන්නි පුවත් ලියූ අය ද ද්‍රවිඩයන් බවත් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ඔවුන් ආර්යයන් බව හැඟවීමටත් , තමන් සමඟ පැමිණි දෙවියන්ට මේ රටෙහි ගරුත්වයක් ලබාදීම බවත් ඇතමෙකුගේ අදහසක් වේ.මෙලෙසින්ම අයියනායක දෙවියන් පිළිබඳව විවිධ මතිමතාන්තර පවතින අතර උපත්තිය සම්බන්ධයෙන් ජන්ප්‍රවාදයේ එන කතාවක් මෙලෙස දැක්විය හැකිය. 

හිමාල පර්වතයේ විසූ එක් ඍෂිවරයෙක් "ඊශ්වර දැහැන" මන්ත්‍රය ඉගෙන ගෙන ඉන් උමා දේවිය වශී කර ගැනීමට ඇය පසු පස හඹා ගියේය. විශ්ණු දෙවියන් මෙය දැක ස්ත්‍රී වෙසක් මවාගෙන ඍෂිවරයා යන මග ගසක අත්තක බැඳි ඔංචිල්ලාවක් පදිමින් සිටින්නට විය. ඔංචිල්ලාව පදින තරුණිය දුටු ඍෂිවරයා උමා දේවිය පිළිබඳ අදහස  අතහැර ඔංචිලි පදින තරුණිය කරා ඇඳී ගියේය. එවිට මේ ඍෂිවරයා තමන්ගේ උගුලට හසුවූ බව දැනගත් හෙයින් සිය අතෙහි කුඩු බිළිඳකු මවා පා තිබේ. ඉන් ලැජ්ජාවට පත් ඍෂිවරයා වෙනතකට ගිය අතරම, එසේ ජන්මය ලද කුමරුන් "කරේනාරේ" ලෙසට නම් තබන්නට විය. ඒ දකුණු අතින් උපන් හෙයිනි. පසුව එම නාමය කයියනාරේ , අයියනාරේ, අයියනායගම්, අයියනායක ලෙස ක්‍රමිකව වෙනස්ව වත්මනයේ හඳුන්වන අයියනායක යන නාමය ලැබී ඇති බැව් ජනප්‍රවාදයේ සඳහන් වන්නකි.  

එමෙන්ම ශිව-විශ්ණු දෙදෙනාගේ සම්බන්ධයේ ප්‍රතිඵලය අයියනායක බවටද ගම්මුන් අතර මතයක් පවතී. එමෙන්ම ඊශ්වර දෙවියන් මෝහිණිය දැක ඇය කෙරෙහි කාමාශාවෙන් වැළඳගැනීමෙන් දරුවකු උපන් අතර ඔහු හරිහර නමින් ප්‍රකට වූ අතර පසුව අයියනායක විය. මෙලෙසින්ම අයියනායක දෙවි කවිවලට අනුව උපුල්වන් දෙවියන්ගෙන් වරම් ලබාගෙන මෙහි පැමිණි බවටත්, ඔහු උපුල්වන් දෙවියන්ගේ බලයෙන් මවගේ දකුණු ඇලය පලාගෙන උපන් බවත් කියැවේ. 

එමෙන්ම අයියනායක මෙහි පැමිණ ඇත්තේ උපුල්වන් දෙවියන්ගෙන් වරම් ලබාගෙන වුවද බුදුන් වහන්සේගෙන් ලොව ආරක්ෂා කිරීමට අවසර ලබාගත් බව කියැවෙන කෝල්මුර ද ඇත. ඔහු ඉන්දියාවේ මධුර නුවරින් පැමිණ ලංකාවේ යාපනයෙන් ගොඩ බැස තිබේ. මල්වරා දේශයේ උපන් බව කියන මොහු විශ්ණු දෙවියන් විසින් වැව් බැඳි රාජ්‍යයේ ගොවිතැන් කටයුතු දියුණු කිරීම සඳහා යන ලෙස නියම කොට ඇත. ඔහු එවිට තවත් සත් දෙනෙකු කැඳවාගෙන යාපා පටුනට පැමිණි බැව් ජනප්‍රවාදයන් තුළ සඳහන් වේ. කුමාර වන්නි පත්තුවට අයත් වේලාසිය නම් ස්ථානය අයියනායක දෙවියන්ගේ ප්‍රධාන දේවාලය ලෙස සැලකේ. මෙහි අවුරුද්දකට වරක් විශාල උත්සවයක් පවත්වන අතර එහිදි අයියනායක දෙවියන් වෙනුවෙන් දේව දානයක් හා අඩුක්කු මංගල්‍යයක් ද පවත්වනු ලබයි. 

අයියනායක දෙවියන් මුළු වන්නියටම අරක් ගත් දෙවියන් වන අතර ඔහු පිදීමට විවිධ ස්ත්‍රෝත්‍ර, බුලත් මඬේ, බුලත් තිහං, බුලත් පිදුම් වැනි විශේෂ පූජා චාරිත්‍ර කරනු ලබයි. මොහුහේ ආයුධය වූ කලී ගිනි සළඹක් වන අතර වාහනය සුදු ඇතෙකි. කාල වර්ණයෙන් යුත් දේහයකට උරුමකම් කියන අයියනායක දෙවියන්ට ගෞරව දැක්වීමට මුට්ටි මංගල්‍යය, වැව් අලුත් සහල් මංගල්‍යය ආදිය පවත්වනු ලබයි.

Sunday, October 6, 2024

දැඩිමුණ්ඩ දෙවියන්

දැඩිමුණ්ඩ දෙවියන් යනු අතීතයේ මෙන්ම ව‍ර්තමානයේදීත් ශ්‍රී ලාංකිකයන් අතර බොහෝ ප්‍රසිද්ධියට පත් දෙවියෙකි. දැඩිමුණ්ඩ දෙවියන් වාසය කරනුයේ අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයේය. එම ස්ථානය ද ශ්‍රී ලාංකිකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට සහ ප්‍රසාදයට ලක් වන ස්ථානයකි. මෙම දැඩිමුණ්ඩ දෙවියන් පිළිබඳව ජනයා අතර විශ්වාසයන් පවතී. සිදුහත් කුමරුන් ගිහිගෙයින් නික්ම  දුෂ්කර ක්‍රියා අවසන් කිරීමෙන් පසු ඇසතු බෝ රුක මුල බවුන් වඩන විට එතැනට ආ මාර සේනාව බෝසතාණන්ට විවිධාකාර හිරිහැර කරන්නට විය. එවිට එම ස්ථානයේ රැස්ව සිටි බොහෝ දෙවිවරුන් මාර සේනාවට බිය වී පළා යන විට එක් දෙවියෙකු පමණක් ඉතිරිව සිට බෝසතාණන්ට ආරක්ෂාව සැපයීමට සිට ඇත. එලෙස කරදර හමුවේ දැඩි චිත්ත ශක්තියකින් යුක්තව සිටි නිසා එතැන් සිට එම දෙවියන් "දැඩිමුණ්ඩ" යන නමින් හඳුන්වන්නට විය.

එමෙන්ම මෙම දැඩිමුණ්ඩ දෙවියන් අතෙහි රත්‍රන් සැරයටියක් දක්නට ඇත. සුදුමල් දැඩිමුණ්ඩ දේවතා බණ්ඩාර හෙවත් වීර විකුම්  දේවතා බණ්ඩාර නමින් හඳුන්වන්නේද මෙම දෙවියන්‍ ය. දැඩිමුණ්ඩ දෙවියන්ගේ එඩිතරකම නිසාම වෙසමුණි විසින් උපුල්වන් දෙවියන්ගෙන් ඉල්ලීමක් කරනවා දැඩිමුණ්ඩ දෙවියන්ට ලංකාවෙන් වාසභවනක් සකස් කරල දෙන ලෙසට. ඊට කැමැත්ත ලැබුණු නිසාවෙන් වෙසමුණි රජුගෙන් අවසර ගෙන මෙම දෙවියන් ලංකාවට පැමිණි බව කියවේ.

දැඩිමුණ්ඩ දෙවියන් ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ද ජන්ප්‍රවාද කතා ඇත. මෙම දෙවියන් ලංකාවට පැමිණීමෙන් අනතුරුව සිය වාසභවන නැතහොත් දේවාලයක් සෑදීමට භූමියක් සොයමින් සිටින විට කන්ද උඩරට ප්‍රදේශයට කැමත්තකින් පසු වෙනවා. සතර කෝරළයේ මැද පිහිටි කිරුගන්දෙනියට ගොස් තමන්ගේ රන් සැරයටිය ගල් ලෙනක් තුළ තැන්පත් කිරීම සිදු කර ඇත. ඉන්පසුව උඩරට පාලනය කළ රජුගේ කිරිපට්ටියේ දෙනුන්ගේ කිරි ලේ බවට පත් කොට විශාල කලබලයක් ඇති කරනවා. එදින රාත්‍රියේ රජු සිහිනයක් දැක, කිරගන්දෙනියට ගොස් දැඩිමුණ්ඩ දෙවියන්ගේ රන් සෝලුව/ රන් සැරයටිය තිබුණු ස්ථානය එළි කොට අලුත් නුවරකුත් සෝලූව තිබූ ස්ථානයෙහි තුන් මහල් පායකුත් නිර්මාණය කොට ඇති බවට ජන්ප්‍රවාදයේ සඳහන් වෙනවා.

අලුත් නුවර දේවතා බණ්ඩාර, මැණික් බණ්ඩාර,  ඌවේ බණ්ඩාර, කීර්ති බණ්ඩාර ආදී නම් කීපයකින් දැඩිමුණ්ඩ දෙවියන් හඳුන්වනු ලබයි. කතරගම දෙවියන්ගේ සෙන්පති, වෙසමුණි රජුගේ මුණුබුරෙකු වශයෙනුත්, උපුල්වන් දෙවියන්ගේ අධිකාරම් වශයෙනුත් විවිධ මුහුණුවර ඔස්සේ දැඩිමුණ්ඩ දෙවියන් ජනයා අතර ප්‍රසිද්ධියට පත්ව තිබේ. වර්තමානයේ දැඩිමුණ්ඩ දෙවියන්ගේ දෙවොල වන අලුත් නුවර දේවාලය ඉදිරියේ තිබූ විශාල ගල් පර්වතයක් යක්ෂයින් ලවා ඉවත් කරවා ඇත්තේ ද මෙම දැඩිමුණ්ඩ දෙවියන් බව සඳහන් වේ.

නාථ දෙවියන්

මහායාන බුදු දහමේ "අවලෝකිතේශ්වර" බෝධිසත්ත්වයන් ලෙස ද හඳුන්වා දෙනු ලබයි.  ශ්‍රී ලංකාවේ බොදු ජනතාව "නාථ දෙවියන්" යනුවෙන් වන්දනාමාන කරන්නේ ද මෙම දෙවියන් බවට විශ්වාස කරයි. දාහතරවන සියවසේ දී පමණ ලියා ඇති සමහර ලේඛනවල මෙම දෙවියන්ගේ නම "අවලෝකිතේශ්වර නාථ" යනුවෙන් හඳුන්වා ඇත. නමුත් පසුකාලීනව එහි මුල් කොටස ඉවත්ව "ලෝකිතේශ්වර නාථ" යනුවෙන්ද  හඳුන්වා ඇත. කෙසේ වුවත් අද වන විට මෙම දෙවියන් "නාථ" යන නමින් පමණක් හඳුන්වනු ලැබේ. මෙම නාථ දෙවියන් මහායාන බුදු දහමේ සඳහන් වන අයුරින් මතු බුදු වීමට පෙරුම් පුරන බෝධිසත්වයන්  බවට ද විශ්වාස කරයි. 

       "නාථ ශ්‍රී සර්ව මංගල්‍යම්

        යථා දේවේන සංයුතං

                                                       සුගන්ධ දීප ධූතේන

                                                        නාථස්‌වාමි නමෝ වරං"

සතර වරම් දෙවිවරුන්ගෙන් කෙනෙකු වේ. නාථ දෙවියන්ට පුද පූජා පවත්වන දේවල රැසක් මෙන්ම දේව ප්‍රතිමා රැසක් ද දක්නට ඇත. උඩරට රාජධානිය තුළ මෙම නාථ දෙවියන්ගේ සංකල්පය ප්‍රකටව තිබූ බවට සාක්ෂි සඳහන් වේ. මහනුවර යුගයේ දී උඩරට වැසියන්ට වින කළ "කඩවර යක්ෂයා" රුහුණට  පලවා හැරීමට ද මුල් වී ඇත්තේ මෙම නාථ දෙවියන් බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. නාථ දෙවියන් දුම්බර ප්‍රදේශයෙහි බලපරාක්‍රමය විහිදුවා සිට ඇති බවද ජනප්‍රවාදයේ සඳහන් වෙයි. 


අතීතයේ සිටි සිහළ රජවරුන් නාථ දෙවියන් මහත් ගෞරවයෙන් ඇදහූ බව ට සඳහන් වේ. නාථ දේව සංකල්පය සිංහල බෞද්ධ සංස්කෘතියෙහි සුවිශේෂී ස්ථානයක් ගනී. විශේෂයෙන්ම එකල රජ කෙනෙකු රාජ්‍යත්වයට පත්  වන අවස්ථාවේ දී එකී රජ පවුලේ උදවිය එකට එක්ව නාථ දේව වන්දනාව සිදු කළ බව පැවසේ. චාරිත්‍රානුකූලව නාථ දේවාලය තුළ රාජාභිෂේකය සිදු කිරීමෙන් පසුව එම රජු දසවිධ පාපයන්ගෙන් මිදෙන බවට ද දස පුණ්‍ය ක්‍රියාවල යෙදෙන බවට ද නාථ දෙවිදුන් ඉදිරිපිට ප්‍රතඥා දිය යුතුය. එමෙන්ම ඊට නාථ දෙවියන්ගේ දේවාභරණවලට සමාන ඇඳුම් කට්ටලයක් රජතුම ඇඳ සිටියි. මෙලෙස බෝසත් සිරිතට පත්වෙන රජෙකු අතින් සිය රාජ්‍යයට මෙන්ම රජකමටද අයහපතක් නොවන බවට එකල මිනිසුන් තුළ දැඩි විශ්වාසයක් පැවතිණි. තොටගමු රජමහා විහාරයේ බුදු රුව අසලින්ම ඇත්තේ නාථ දෙවියන්ගේ පිළිරුවයි. එනම් එකල නාථ දේව වන්දනාව සිංහල බෞද්ධ ජනී ජනයා අතර බොහෝ සෙයින් පැවත ඇති බවට සාක්ෂි දරයි. මහනුවර පැවැත්වෙන ප්‍රධානතම පෙරහැර වන ශ්‍රී දළදා පෙරෙහැරට පසුව ගමන් කරනුයේද නාථ දේවාල පෙරහැරයි. මහනුවර, බෙල්ලන්විල, උරුලෑවත්ත, වේගිරිය, තොටගමුව, පස්ගම ආදී ස්ථානවල ද නාථ දේවාල පිහිටා ඇත.

Friday, October 4, 2024

ප්‍රේත සංකල්පය

බුදු දහමේ දැක්වෙන අන්දමට පියවි ඇසට නොපෙනෙන ධාතු වර්ගයකින් නිර්මිත විවිධ ප්‍රමාණයේ රූපකායකින් යුක්ත සත්ත්වයන් කොට්ඨාසයක් "ප්‍රේත" හෙවත් "පෙරේත" යනුවෙන් හඳුන්වයි. පොදු ව්‍යවහාරයේදී මොවුන්ගේ ගැහැණුන් හඳුන්වන්නේ, "පෙරේතියන්" යනුවෙනි. සත්ත්වයන් උප්පත්තිය ලබන අතිශයින් කටුක සහ දුක්ඛිත ලෝක වන "නරක" හතරෙන් එකක් වන්නේ ද "ප්‍රේත නරකයයි".සමහර ප්‍රේත ආත්මයන් මිනිස් ලෝකයට සමාන්තර අවකාශයක් ද සිය වාසස්ථානය වශයෙන් යොදා ගනී. ඊට අමතරව තිරිසන් සතුන් වෙසෙන තැන් හා ඉන් පරිබාහිර වෙනත් කටුක තැන්වල වුවද ඔවුන්ට වාසය කිරීමට හැකියාව ඇත. ප්‍රේතයන්ට ඇත්තේ මිනිසාට අදෘශ්‍යමාන වන රූපකායකි. ඔවුන් බිහි වන්නේ මව් කුසකින් නොවීම (ඕපපාතිකව) ද සුවිශේෂී ලක්ෂණයකි. පෙරේත ආත්මයක උත්පත්තිය ලබන්නන්ට ආහාර නොමැතිව හෝ පානය කිරීමට ද දිය බිඳක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඒ නිසා ඔවුන්ගේ සිරුර අතිශයින් කෘශ වූ විරූපී එකක් බවට පත්වී ඇත. එසේම විලිවසා   ගැනීමට වස්ත්‍ර නොමැති නිසා ඔවුන්ට නිරුවතින් සිටීමද විශේෂත්වයකි. මෙම අමනුෂ්‍යයින් ගත කරන්නේ ද අතිශයින් ම පිළිකුල් සහගත අපිරිසිදු ජීවිතයකි. සමහර අවස්ථාවලදී කුසගිනි දරාගත නොහැකිව ඔවුන් මිනිසුන්ගේ මල, මුත්‍ර, කැහි, සොටු සහ කබ පවා ආහාර වශයෙන් ගන්නා බවට මිනිසුන් තුළ විශ්වාසයක් පවතී. 

මනුෂ්‍ය ජීවිතයක් ගත කළ කාලයේදී දන් නොදුන් සහ ලෝභ පුද්ගලයින් මියගිය පසුව සිය වස්තුවට තණ්හාවෙන් එකී වාසස්ථානවලම පෙරේතයන් වශයෙන් උත්පත්තිය ලබන බවට ජනතාව විශ්වාස කරනු ලබයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී ඔවුන්ව හඳුන්වනු ලබන්නේ "මල පෙරේතයන්" වශයෙනි. පාළු වූ නිවාස සහ ඉතා අපිරිසිදු මිනිස් වාසස්ථානවලද පෙරේතයන් ලැගුම් ගන්නා බව සාමාන්‍ය මිනිසුන් අතර විශ්වාසයක් පවතියි. එවැනි ස්ථාන "පෙරේත විමාන" ලෙස හඳුන්වන අතරම මෙම ප්‍රේත ආත්ම උදෙසා පෙරේත තටු පිදීම ද ගම්වල වැසියෝ සිදු කරති.  බොහෝ විට තුං මං හන්දිවල මෙලෙස ප්‍රේත තටු පිදීම සිදු කරයි.

උඩරට නර්තන සම්ප්‍රදාය ගුරු කොට ගෙන සිදු කරන උඩරට සාම්ප්‍රදායික ශාන්තිකර්ම

ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියනු ලබන ශ්‍රී ලංකාව වූ කලී සංස්කෘතිකමය වශයෙන් ඉහළින්ම වැජඹෙන රටකි. ශ්‍රී ලංකාව තුළ පාරම්පරික  සංස්කෘතිකමය දායාදයන...