Search This Blog

Thursday, August 29, 2024

රන්වල දෙවියෝ


කපක් පළමු කකුසඳ මුනිදුන්  පෙර

උපත මෙසේ පවසන් දැන් කවි කර

විපත පැමිණි දා දෙවිඳු මතක්   කර

උපත කියන් තෙද රන්වල   පිරිවර


අගේ වඩන රන්වල   දෙවියන්නේ

නුගේ විමානේ වාසේ    කරන්නේ

ගඟේ දෑලේ දෙවි වාසේ කරන්නේ

අගේ අසන් රන්වල   දෙවියන්නේ

දෙගම්බඩ දෙවියන්, රන්වල මුත්තා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන රන්වල දෙවියන් උදෙසා පුවක්පිටිය  හිඟුරල ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන දෙවොලට අමතරව පූගොඩ, නිකවෙල සහ කළු අග්ගල යන ප්‍රදේශයන්හි ද දේවාල ඉදිව පවතියි. සීතාවක සිට කැළණිය දක්වාම කැළණි ගඟ දෙපස ගම්වල රන්වල දෙවි අණසක පැතිර පවතින බව ජනතාව විශ්වාස කරයි. මෙම රන්වල දෙවියන් තොටියෙකු ලෙස සිට දේවත්වයට පත් ව ඇති බව ද සඳහන් වෙයි. කොළඹ සිට අවිස්සාවේල්ල දෙසට දිවෙන හයිලෙවල් මාර්ගයේ හමුවන හිඟුරල මංසන්ධියේ පිහිටා ඇති "රන්වල දේවාලය" දිනපතා සිය දහස් ගණනකගේ වන්දනාමානයට පාත්‍ර වන සුවිශේෂී පුදබිමක් ලෙස හඳුන්වා දිය හැකිය. එය රන්වල දෙවියන් උදෙසාම කැපවූ ස්ථානයක්ද වෙයි. 

මෙකී රන්වල දෙවියන්ගේ ජනශ්‍රැතිය දෙවන රාජසිංහ රජ දවස දක්වා දිව යයි. රන්වල කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ග්‍රාමයකි. එකල එම ග්‍රාමයෙහි ජීවත් වූ පුද්ගලයෙකු රාජ උදහසට ලක් වී සීතාවකට පැමිණ තොටියෙක් ලෙස සේවය කරන අතර ක්‍රමයෙන් වියපත් භාවයට පත් වී ඇත. සිල්වත් දිවිපෙවතක් ගත කරමින් තනිකඩ දිවියක් ගත කළ මෙම පුද්ගලයා වයසට යාමත් සමඟ රන්වල මුත්තා ලෙස ප්‍රදේශවාසීන් අතර ප්‍රසිද්ධියට පත් ව ඇත. සෑම පොහෝ දිනකටම පහුරක නැග කැළණි රජමහා විහාරය වන්දනා කිරීම සිරිතක් ලෙස කොට ඇති බවද සඳහන් වේ. එකල කැළණි ගඟ හරහා යෑම ප්‍රධාන ගමන් මාර්ගයක් ලෙස භාවිත කරනු ලැබීය. නමුත් මේ හරහා යාමේදී අනාරක්ෂිත ස්ථාන වල බෝට්ටු, පහුරු පෙරළීම හේතුවෙන් ජීවිත හානි රාශියක් සිදු ව ඇති අතර මේ නිසා රන්වල මුත්තා මේ තැන්වල ස්වේච්ඡාවෙන් පහන් විශේෂයක් දැල්වීමට කටයුතු කර ඇති අතර අනතුරු සහිත ස්ථානවල පහන් දැල්වීම නිසා රාත්‍රියේ සිදු වන අනතුරු බොහෝමයකින් බෙරීමට හැකියාව ලැබී ඇත. 

නමුත් කාලයාගේ ඇවෑමෙන් රන්වල මුත්තා වයස්ගත වීමත් සමඟ මොහුට ආහාර සැපයීම ගම්වැසියන් විසින් භාර ගෙන සෑම දිනකම නොකඩවා ආහාර පාන මෙම රන්වල මුත්තා වෙනුවෙන් ගෙන ගොස් දීම සිදු කර ඇත. එක් දිනක අහ වැස්සත් සමඟ කැළණි ගග පිටාර ගැලීම නිසා රන්වල මුත්තාට ආහාර ගෙන ගොස් දීමට නොහැකි වී ඇත. ගඟ පිටාර ගොස් ඇති නිසා ගමේ පිරිමි පාර්ශවය ආහාර රැගෙන යාමට සුදානම් වුව ද මහ වැස්සෙන් ඔවුන්ගේ ජීවිතවලට හානියක් වෙයි යැයි බිය නිසාවෙන් ඔවුන්ගේ භාර්යාවන් ගමන නවත්වන්න කටයුතු කර ඇත. නමුත් එදින රාත්‍රියේ නිරාහාරවීම නිසාවෙන් රන්වල මුත්තා මිය ගොස් ඇත. මේ බව පසුදින දැනගත් ගැමියෝ අධික ලෙස කම්පාවට පත් වෙයි. නමුත් රන්වල මුත්තා මිය ගියද ගඟ දෙපස සුපුරුදු පරිදි සෑම රැයකම පහන් දැල් ව ඇති බව ජනශ්‍රැතියේ සඳහන් වෙයි. 

රන්වල මුත්තාගේ අභාවයත් සමඟ මෙම ග්‍රාමය පුරා මහා වසංගත රෝගයක් පැතිරී යයි. ඒත් සමඟම ගමෙහි වාසය කරන පුද්ගලයෙක්ට රන්වල මුත්තා ආවේස වී ඇති අතර, දේවාත්මයක් ලබා ඇති බව එහි දී සැල කර සිටියි. වසංගතයෙන් බේරා සිටීමට නම් රන්වල මුත්තා වෙනුවෙන් කළයුතු වත් පිළිවෙත් පිළිබඳව ද ප්‍රාකශ කර ඇති බැව් සදහන් වේ.  මින් පසු රන්වල දෙවියන් වෙනුවෙන් කැළණි ගඟ දෙපස පුහුල් පහන් දැල්වීම කරනු ලබන අතරම, ගොක් කොළ වලින්  නිර්මාණය කරනු ලබන මෙම පහන රන්වල මුත්තා ගඟ දෙපස දැල්වූ ආලෝකය සිහි කිරීමක් ලෙසත් සඳහන් වෙයි. 

එමෙන්ම රන්වල දෙවියන් වෙනුවෙන් සකස් කරනු ලබන දානය නිර්මාංශික වන අතරම කිසිම අයුරකින් ගැහැණු උදවිය ඒ සඳහා සහභාගි කරවා ගැනීමක් ද සිදු නොවෙයි. මන්ද යත් අවසන් මොහොතේ රන්වල මුත්තාට ආහාර නොළැබ මිය යාමට සිදු වූයේ කාන්තාවන් නිසා බවට මතයක් පැවතීම ද මීට හේතුවකි. සීතාවකින් පහල පෙදෙස්වල රන්වල දෙවියන් පිදීම බහුලව සිදු කෙරේ.


උඩරට නර්තන සම්ප්‍රදාය ගුරු කොට ගෙන සිදු කරන උඩරට සාම්ප්‍රදායික ශාන්තිකර්ම

ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියනු ලබන ශ්‍රී ලංකාව වූ කලී සංස්කෘතිකමය වශයෙන් ඉහළින්ම වැජඹෙන රටකි. ශ්‍රී ලංකාව තුළ පාරම්පරික  සංස්කෘතිකමය දායාදයන...