සුද්ද ලෙසින් නිති ගත බබළන්නේ
සුද්ද ඇතු පිටවද වැඩ ඉන්නේ
බුද්ධ මේ සාසන දියුණු කරන්නේ
සුද්ධ සමන් දෙවියෝය වඩින්නේ
සිරිපා අඩවියේ භාරකාරත්වය දරන දෙවියන් ලෙසත් මෙම සුමන් සමන් දිව්‍ය රාජයන් වහන්සේ හඳුන්වනු ලැබේ. දේශීය සම්භවයක් සහිත ලාංකීය දෙවි කෙනෙකු වන මෙම දෙවියන් මහා සමනල, යක්ක සමනල , සමන් බොක්සාල් යන නම් වලින් ද හදුන්වනු ලබයි.
සුමන් සමන් දෙවියන් පිළිබඳව මුල්ම තොරතුරු හමුවන්නේ බුදුන් වහන්සේගේ ලංකාගමනයත් සමඟ ය. මේ පිළිබඳව සාහිත්‍ය මූලාශ්‍රවල සේම වංශකතා තුළත් සඳහන් වේ.
සුමන් සමන් දෙවියන්ගේ ප්‍රභවය පිළිබඳව විවිධාකාරයේ මත තිබේ. ඒ අතරින් බොහෝමයක් ජනප්‍රවාද මත වේ. සබරගමු පළාතෙහි ජනපද දෙවියෙකු ලෙසත් මෙම දෙවියන් ප්‍රසිද්ධියට පත්ව ඇත. බුදුන් වහන්සේ මහියංගනය ප්‍රදේශයට වැඩම කරන අවස්ථාවේ සබරගමු ප්‍රදේශය කිරීමට ද මෙම දෙවියන් ගොස් ඇත. එහිදී බුදුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කොට සෝවාන් ඵලයට පත්ව දේවත්වයට පත් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගෙන් සමන් දෙවියන් පූජාවට යමක් ඉල්ලා සිට ඇති අතර එහිදී බුදුන් වහන්සේගේ කේශ ධාතු ස්වල්පයක් සමන් දෙවියන්ට ලබා දී ඇති අතර එම කේශ ධාතූන් නිධන් කොට මියගුණු සෑය හෙවත් මහියංගන සෑය නිම කොට ඇත. මෙම ස්ථූපය ලංකාවේ ප්‍රථම ස්ථූපය වශයෙනුත් සලකනු ලබයි.
සබරගමු දෙවොල බාරව සිටි දෙවි කෙනෙකු වන මෙම සමන් දෙවියන් බුදුන් වහන්සේගෙන් ලබාගත් කේශ ධාතූන් සබරගමුවට රැගෙන නොයා මහියංගනයේ සෑයක් කරවා තැන්පත් කිරීම පිළිබඳව ද ජනප්‍රවාදයේ යම් යම් මත තිබේ. සමන් දෙවියන් යනු වැදි පරපුරෙන් පැමිණි දෙවි කෙනෙකි. එම නිසා මෙම සමන් දෙවියන්ට වැදි පරපුරේ ලේ ඥාතීන් සිටින අතර ඒ හේතුවෙන් කේශ ධාතූන් සබරගමුවට රැගෙන නොයා මහියංගනයෙහි සෑයක් කරවා තැන්පත් කර ඇති බවට සඳහන් වේ.
මෙම සමන් දෙවියන් හා සම්බන්ධව පෙරහැර ද්විත්වයක් වීදී සංචාරය කරනු ලබයි. මහියංගනය හා සබරගමු මහ සමන් දේවාලවල සිදු කරන මේ පෙරහැර ද්විත්වයම ඇරඹෙනුයේ මහනුවර ඇසළ පෙරහැර සමය අවසන් විමෙන් පසුවය. සබරගමුව සමන් දේවාලයේ පෙරහැර කොටස් 5න් යුක්ත වන අතර දළදා පෙරහැර, බිසෝ පෙරහැර, පත්තිනි පෙරහැර, සමන් පෙරහැර, නරදේව පෙරහැර යනු එම කොටස් 5 යි. මෙහි බිසෝ පෙරහැර යනු සමන් දෙවියන්ගේ සහෝදරියක වන මහියංගන වැසියන් අතර විශ්වාස කෙරෙන මහලොකු අක්කා වෙනුවෙන් පවත්වන්නක් බව විශ්වාස කරයි. මෙමගින් ද සමන් දෙවියන් වැදි පරපුරෙන් පැමිණි අයෙකු බවට සනාථ වේ.
වැදි පරපුරෙන් පැමිණිය ද ප්‍රාග් බෞද්ධ යුගයේ සිටම වැදුම්, පිදුම් ලැබූ දෙවි කෙනෙකු ලෙස සමන් දෙවියන් හඳුන්වා දිය හැකිය. ජනප්‍රවාදයේ මෙම සමන් දෙවියන් සමන්ත්‍රභද්‍ර නම් බෝධිසත්ත්වයෙකු ලෙසටත් හඳුන්වා ඇත. සෙනරත් පරණවිතාන මහතා ද මෙම සමන් දෙවියන් පිළිබඳව ප්‍රකාශ කොට ඇත්තේ සමන් දෙවියන් පුරාණ වෛදික දෙවි කෙනෙකු බවටයි. සමන් දෙවියන් හා සම්බන්ධ ප්‍රධාන පූජනීය ස්ථාන ලෙස ශ්‍රී පාදස්ථානය, සබරගමු මහ සමන් දේවලය ප්‍රධාන වශයෙන් හඳුන්වා දිය හැකිය. සාම්ප්‍රදායික සබරගමු ශාන්තිකර්ම වලදීද පුද ලබන දෙවි කෙනෙකු ලෙස මෙම සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ හඳුන්වා දිය හැකිය.
6 comments:
🖤🌻
👍👍
Keep it up ❤️
👍❤
❤️💫
❤️💫
Post a Comment