උපත මෙසේ පවසන් දැන් කවි කර
විපත පැමිණි දා දෙවිඳු මතක් කර
උපත කියන් තෙද රන්වල පිරිවර
අගේ වඩන රන්වල දෙවියන්නේ
නුගේ විමානේ වාසේ කරන්නේ
ගඟේ දෑලේ දෙවි වාසේ කරන්නේ
අගේ අසන් රන්වල දෙවියන්නේ
දෙගම්බඩ දෙවියන්, රන්වල මුත්තා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන රන්වල දෙවියන් උදෙසා පුවක්පිටිය හිඟුරල ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන දෙවොලට අමතරව පූගොඩ, නිකවෙල සහ කළු අග්ගල යන ප්‍රදේශයන්හි ද දේවාල ඉදිව පවතියි. සීතාවක සිට කැළණිය දක්වාම කැළණි ගඟ දෙපස ගම්වල රන්වල දෙවි අණසක පැතිර පවතින බව ජනතාව විශ්වාස කරයි. මෙම රන්වල දෙවියන් තොටියෙකු ලෙස සිට දේවත්වයට පත් ව ඇති බව ද සඳහන් වෙයි. කොළඹ සිට අවිස්සාවේල්ල දෙසට දිවෙන හයිලෙවල් මාර්ගයේ හමුවන හිඟුරල මංසන්ධියේ පිහිටා ඇති "රන්වල දේවාලය" දිනපතා සිය දහස් ගණනකගේ වන්දනාමානයට පාත්‍ර වන සුවිශේෂී පුදබිමක් ලෙස හඳුන්වා දිය හැකිය. එය රන්වල දෙවියන් උදෙසාම කැපවූ ස්ථානයක්ද වෙයි.
නමුත් කාලයාගේ ඇවෑමෙන් රන්වල මුත්තා වයස්ගත වීමත් සමඟ මොහුට ආහාර සැපයීම ගම්වැසියන් විසින් භාර ගෙන සෑම දිනකම නොකඩවා ආහාර පාන මෙම රන්වල මුත්තා වෙනුවෙන් ගෙන ගොස් දීම සිදු කර ඇත. එක් දිනක අහ වැස්සත් සමඟ කැළණි ගග පිටාර ගැලීම නිසා රන්වල මුත්තාට ආහාර ගෙන ගොස් දීමට නොහැකි වී ඇත. ගඟ පිටාර ගොස් ඇති නිසා ගමේ පිරිමි පාර්ශවය ආහාර රැගෙන යාමට සුදානම් වුව ද මහ වැස්සෙන් ඔවුන්ගේ ජීවිතවලට හානියක් වෙයි යැයි බිය නිසාවෙන් ඔවුන්ගේ භාර්යාවන් ගමන නවත්වන්න කටයුතු කර ඇත. නමුත් එදින රාත්‍රියේ නිරාහාරවීම නිසාවෙන් රන්වල මුත්තා මිය ගොස් ඇත. මේ බව පසුදින දැනගත් ගැමියෝ අධික ලෙස කම්පාවට පත් වෙයි. නමුත් රන්වල මුත්තා මිය ගියද ගඟ දෙපස සුපුරුදු පරිදි සෑම රැයකම පහන් දැල් ව ඇති බව ජනශ්රැතියේ සඳහන් වෙයි.
රන්වල මුත්තාගේ අභාවයත් සමඟ මෙම ග්‍රාමය පුරා මහා වසංගත රෝගයක් පැතිරී යයි. ඒත් සමඟම ගමෙහි වාසය කරන පුද්ගලයෙක්ට රන්වල මුත්තා ආවේස වී ඇති අතර, දේවාත්මයක් ලබා ඇති බව එහි දී සැල කර සිටියි. වසංගතයෙන් බේරා සිටීමට නම් රන්වල මුත්තා වෙනුවෙන් කළයුතු වත් පිළිවෙත් පිළිබඳව ද ප්‍රාකශ කර ඇති බැව් සදහන් වේ. මින් පසු රන්වල දෙවියන් වෙනුවෙන් කැළණි ගඟ දෙපස පුහුල් පහන් දැල්වීම කරනු ලබන අතරම, ගොක් කොළ වලින් නිර්මාණය කරනු ලබන මෙම පහන රන්වල මුත්තා ගඟ දෙපස දැල්වූ ආලෝකය සිහි කිරීමක් ලෙසත් සඳහන් වෙයි.
එමෙන්ම රන්වල දෙවියන් වෙනුවෙන් සකස් කරනු ලබන දානය නිර්මාංශික වන අතරම කිසිම අයුරකින් ගැහැණු උදවිය ඒ සඳහා සහභාගි කරවා ගැනීමක් ද සිදු නොවෙයි. මන්ද යත් අවසන් මොහොතේ රන්වල මුත්තාට ආහාර නොළැබ මිය යාමට සිදු වූයේ කාන්තාවන් නිසා බවට මතයක් පැවතීම ද මීට හේතුවකි. සීතාවකින් පහල පෙදෙස්වල රන්වල දෙවියන් පිදීම බහුලව සිදු කෙරේ.
5 comments:
💗🫶
Great👍👍
🖤🌻
👍👍
🥰❤️
Post a Comment