Search This Blog

Monday, August 19, 2024

සුමන සමන් දෙවියන්

මිනිසුන් අතර වන්දනාමානයට පාත්‍ර වෙන, විශේෂයෙන්ම සබරගමු පළාතේ මිනිසුන් අතර ගරු බුහුමාමානයට ලක්වන දෙවියෙකු ලෙස සමන් දෙවියන් හඳුන්වා දිය හැකිය. 

සුද්ද ලෙසින් නිති ගත බබළන්නේ

සුද්ද ඇතු පිටවද වැඩ ඉන්නේ

බුද්ධ මේ සාසන දියුණු කරන්නේ

සුද්ධ සමන් දෙවියෝය වඩින්නේ

සිරිපා අඩවියේ භාරකාරත්වය දරන දෙවියන් ලෙසත් මෙම සුමන් සමන් දිව්‍ය රාජයන් වහන්සේ හඳුන්වනු ලැබේ. දේශීය සම්භවයක් සහිත ලාංකීය දෙවි කෙනෙකු වන මෙම දෙවියන් මහා සමනල, යක්ක සමනල , සමන් බොක්සාල් යන නම් වලින් ද හදුන්වනු ලබයි. 

සුමන් සමන් දෙවියන් පිළිබඳව මුල්ම තොරතුරු හමුවන්නේ බුදුන් වහන්සේගේ ලංකාගමනයත් සමඟ ය. මේ පිළිබඳව සාහිත්‍ය මූලාශ්‍රවල සේම වංශකතා තුළත් සඳහන් වේ. 

සුමන් සමන් දෙවියන්ගේ ප්‍රභවය පිළිබඳව විවිධාකාරයේ මත තිබේ. ඒ අතරින් බොහෝමයක් ජනප්‍රවාද මත වේ. සබරගමු පළාතෙහි ජනපද දෙවියෙකු ලෙසත් මෙම දෙවියන් ප්‍රසිද්ධියට පත්ව ඇත. බුදුන් වහන්සේ මහියංගනය ප්‍රදේශයට වැඩම කරන අවස්ථාවේ සබරගමු ප්‍රදේශය කිරීමට ද මෙම දෙවියන් ගොස් ඇත. එහිදී බුදුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කොට සෝවාන් ඵලයට පත්ව දේවත්වයට පත් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගෙන් සමන් දෙවියන් පූජාවට යමක් ඉල්ලා සිට ඇති අතර එහිදී බුදුන් වහන්සේගේ කේශ ධාතු ස්වල්පයක් සමන් දෙවියන්ට ලබා දී ඇති අතර එම කේශ ධාතූන් නිධන් කොට මියගුණු සෑය හෙවත් මහියංගන සෑය නිම කොට ඇත. මෙම ස්ථූපය ලංකාවේ ප්‍රථම ස්ථූපය වශයෙනුත් සලකනු ලබයි. 

සබරගමු දෙවොල බාරව සිටි දෙවි කෙනෙකු වන මෙම සමන් දෙවියන් බුදුන් වහන්සේගෙන් ලබාගත් කේශ ධාතූන් සබරගමුවට රැගෙන නොයා මහියංගනයේ සෑයක් කරවා තැන්පත් කිරීම පිළිබඳව ද ජනප්‍රවාදයේ යම් යම් මත තිබේ. සමන් දෙවියන් යනු වැදි පරපුරෙන් පැමිණි දෙවි කෙනෙකි. එම නිසා මෙම සමන් දෙවියන්ට වැදි පරපුරේ ලේ ඥාතීන් සිටින අතර ඒ හේතුවෙන් කේශ ධාතූන් සබරගමුවට රැගෙන නොයා මහියංගනයෙහි සෑයක් කරවා තැන්පත් කර ඇති බවට සඳහන් වේ. 

මෙම සමන් දෙවියන් හා සම්බන්ධව පෙරහැර ද්විත්වයක් වීදී සංචාරය කරනු ලබයි. මහියංගනය හා සබරගමු මහ සමන් දේවාලවල සිදු කරන මේ පෙරහැර ද්විත්වයම ඇරඹෙනුයේ මහනුවර ඇසළ පෙරහැර සමය අවසන් විමෙන් පසුවය. සබරගමුව සමන් දේවාලයේ පෙරහැර කොටස් 5න් යුක්ත වන අතර දළදා පෙරහැර, බිසෝ පෙරහැර, පත්තිනි පෙරහැර, සමන් පෙරහැර, නරදේව පෙරහැර යනු එම කොටස් 5 යි. මෙහි බිසෝ පෙරහැර යනු සමන් දෙවියන්ගේ සහෝදරියක වන මහියංගන වැසියන් අතර විශ්වාස කෙරෙන මහලොකු අක්කා වෙනුවෙන් පවත්වන්නක් බව විශ්වාස කරයි. මෙමගින් ද සමන් දෙවියන් වැදි පරපුරෙන් පැමිණි අයෙකු බවට සනාථ වේ. 

වැදි පරපුරෙන් පැමිණිය ද ප්‍රාග් බෞද්ධ යුගයේ සිටම වැදුම්, පිදුම් ලැබූ දෙවි කෙනෙකු ලෙස සමන් දෙවියන් හඳුන්වා දිය හැකිය. ජනප්‍රවාදයේ මෙම සමන් දෙවියන් සමන්ත්‍රභද්‍ර නම් බෝධිසත්ත්වයෙකු ලෙසටත් හඳුන්වා ඇත. සෙනරත් පරණවිතාන මහතා ද මෙම සමන් දෙවියන් පිළිබඳව ප්‍රකාශ කොට ඇත්තේ සමන් දෙවියන් පුරාණ වෛදික දෙවි කෙනෙකු බවටයි.  සමන් දෙවියන් හා සම්බන්ධ ප්‍රධාන පූජනීය ස්ථාන ලෙස ශ්‍රී පාදස්ථානය, සබරගමු මහ සමන් දේවලය ප්‍රධාන වශයෙන් හඳුන්වා දිය හැකිය. සාම්ප්‍රදායික සබරගමු ශාන්තිකර්ම වලදීද පුද ලබන දෙවි කෙනෙකු ලෙස මෙම සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ හඳුන්වා දිය හැකිය.

Saturday, December 2, 2023

රජ්ජුරු බණ්ඩාර දෙවියන්

දකුණු පළාතේ මිනිසුන් විසින් අදහනු ලබන්නාවු බණ්ඩාර දේව කන්නලව්වෙහි සඳහන් වන බණ්ඩාර හත් කට්ටුවෙහි එක් දෙවියෙකු ලෙස රජ්ජුරු බණ්ඩාර දෙවියන් හඳුන්වනු ලබයි.  බටහිර දෙවියෝ, පාතා  හාමුදුරුවෝ, ගැටබරු  දෙවියෝ ලෙස මෙම දෙවියන් හඳුන්වනු ලබයි. රජ්ජුරු බණ්ඩාර දෙවියන් නිලමේ කෙනෙකු මෙන් සැරසී සිටින අතර හිසෙහි ඔටුන්නක් ද දරා ඇත. උඩු රැවුලක් ද, ගෙලෙහි තැල්ලක් ද, ඉණ දක්වා වූ මල් මාලයක් ද, වම් උරහිස හරහා උතුරු සළුවක් ද, දෙයත් ආභරණවලින් ද, දකුණු අතේ සෝලු ලීයකින් ද, වමත රබාන කින් ද සැරසී ඇත. රජ්ජුරු බණ්ඩාර දෙවියන් බැතිමතුන්ට සාධාරණය ඉටු කොට වැරදිකරුවන්ට  දඬුවම් කරන බව ගම්වාසීන් විශ්වාස කරන්නකි. ඒ පිළිබඳව ජනප්‍රවාද කතා ද  රාශියක් පවතින අතර උකුස්සෙකු ගේ පියාපත් අළු කිරීම, ගොන් බානක් ගල් කිරීම (ගොන්ගල) ඉන් සමහරක් වේ. ඇසළ උත්සවය ගැටබරුවට  ආවේණික වූ චාරිත්‍රයකි. දෙවියන් අදහන බැතිමතුන් පඬුරු ඔප්පු කිරීම, ධන ධාන්‍ය පිදීම මෙහිදී සිදුකරනු ලබන්නකි. මෙකී රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ මාලිගාව ඇත්තේ අකුරැස්ස උරුමුත්ත ප්‍රදේශයේ මාලිගාකන්ද නම් ස්ථානයේය. නමුත් රජ්ජුරු බණ්ඩාර දෙවියන් වැඩ වාසය කරනු ලබන්නේ ගැටබරු රජමහා විහාරයේ සහ එළමල්දෙණිය විහාරයේ බව ප්‍රදේශවාසීහු විශ්වාස කරති.

ගැටබරු දෙවියන් පිළිබඳ ගැමි විශ්වාසයක් මෙසේ දැක්විය හැකිය. කතරගම දෙවිඳුන් තාරක අසුරයා විනාශ කිරීමෙන් පසුව මිනිසුන්ගේ වැරදි උදෙසා දඬුවම් දීම නවතා දමා ඇති බැවින් එම කටයුතු සිදු කිරීමට ගැටබරු දෙවියන් හෙවත් රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට භාර දුන් බවත් සඳහන් වේ. එතැන් සිට බණ්ඩාර දෙවියන් මිනිසුන්ගේ වැරදි උදෙසා දඬුවම් දෙමින් ප්‍රදේශයේ ජන ජීවිතය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යෑමට උපකාර කරන බව ගැමියන් විශ්වාස කරයි. දකුණේ වැසියන් තුළ රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට පවතින්නේ ගෞරවාන්විත භක්තියක් මෙන්ම ගෞරව සම්ප්‍රයුක්ත බියකි. එමෙන්ම මෙම රජ්ජුරු බණ්ඩාර දෙවියන් වැඩ වාසය කරන පුද බිම කාලාන්තරයක් තිස්සේ වල් බිහි වී තිබී නැවත හමු වීම වීමම හාස්කමක් ලෙස බොහෝ ගැමි ජනතාවගේ විශ්වාසයයි.

තවද ගැටවර දෙවියන් වලගම්බා රජු රාජ්‍ය කරන කාලයෙහි රාජ්‍ය භාණ්ඩාගාරයේ භාණ්ඩාරවරයා ලෙස සිට ඇති බවටත් ගැමියෝ විශ්වාස කරන්නකි. එමෙන්ම ගැටබරු දේවාලය ට නම ලැබී ඇත්තේ එකල මෙහි සිටි බණ්ඩාර නම් ප්‍රතාපවත් පාලකයෙකු මරණින් පසු ගැටබරු දෙවියන් ව එම ස්ථානයට අධිගෘහිතව වැඩ වාසය කරන නිසාවෙන් බැව් ගැමියෝ පවසති. වැරදිකරුවන්ට දඬුවම් දෙන අතර නිවැරදි කරුවන් ආරක්ෂා කරන බවටද ගැමියන් අතර දැඩි විශ්වාසයක් පවතී. හොරකමක්, මංකොල්ලයක්, අපහාසයක් වගේ අකටයුත්තකදී පිහිට වනුයේ රජ්ජුරුබණ්ඩාර දෙවියන් ය. තවද ඉගෙනීමේ කටයුතු වල දී ඒවා සාර්ථක කර දෙනු වත් ගැටබරු දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරයි. පූජා වට්ටි, පුද පඬුපඬුරු, මල්මාලා ආදිය පූජාකරමින් ගැටබරු දෙවියන්ට ගැමියෝ පූජෝපහාර දක්වති. එමෙන්ම අලුත් වාහන ආදිය ගත් විට පළමුවෙන්ම ගැටබරු දේවාලයට ගොස් බාරහාර වීම සිදු කරයි. එය එදා සිට අද වන තුරුම ගැමියන් විසින් කරනු ලබන්නකි. ගැටබරු රජමහා විහාරය "රුහුණේ පුංචි කතරගම" යන නමින් ද විරුදාවලිය ලබා ඇත.

උඩරට නර්තන සම්ප්‍රදාය ගුරු කොට ගෙන සිදු කරන උඩරට සාම්ප්‍රදායික ශාන්තිකර්ම

ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියනු ලබන ශ්‍රී ලංකාව වූ කලී සංස්කෘතිකමය වශයෙන් ඉහළින්ම වැජඹෙන රටකි. ශ්‍රී ලංකාව තුළ පාරම්පරික  සංස්කෘතිකමය දායාදයන...