කෙම්වර දවස්වල පානින් සැරසී ම
වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම
අතීතයේ මෙන්ම වර්තමානයේදීත් පුත්තලම පෙදෙසේ උතුරු කොටසෙහි මන්නාරම තෙක් ප්‍රදේශයන්හි ජීවත් වන ග්‍රාමීය ජනයාගේ එකම ගැලවුම්කරුවා ලෙසින් අයියනායක දෙවියන් ගරු බුහුමානයට පාත්‍ර විය. කරේනාර්, අයියානාරේ, අයියානාථ, කයියනාර්, හරිහරපුත්ර, මහා සාස්තා යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වනු ලබන්නේද මෙකී අයියනායක දෙවියන්මය. රාජ වන්නිය සහ කුමාර වන්නිය යන ප්‍රදේශ ද්විත්වයටම බලපරාක්‍රමය විහිදුවාගෙන සිටිනුයේ අයියන්නායක දෙවියන් ය.
අයියනායක යනු ගම්පල යුගයේ බුවනෙකබාහු රජ කාලයේ ආර්ය පිරිසක් සමඟ ලංකාවට පැමිණි අයෙක් බව වන්නියේ ජනයා අතර විශ්වාසයක් පවතී. අයියනායක යන නාමය ද්‍රවිඩ නාමයක් බවත් වන්නි පුවත් ලියූ අය ද ද්‍රවිඩයන් බවත් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ඔවුන් ආර්යයන් බව හැඟවීමටත් , තමන් සමඟ පැමිණි දෙවියන්ට මේ රටෙහි ගරුත්වයක් ලබාදීම බවත් ඇතමෙකුගේ අදහසක් වේ.මෙලෙසින්ම අයියනායක දෙවියන් පිළිබඳව විවිධ මතිමතාන්තර පවතින අතර උපත්තිය සම්බන්ධයෙන් ජන්ප්‍රවාදයේ එන කතාවක් මෙලෙස දැක්විය හැකිය.
හිමාල පර්වතයේ විසූ එක් ඍෂිවරයෙක් "ඊශ්වර දැහැන" මන්ත්‍රය ඉගෙන ගෙන ඉන් උමා දේවිය වශී කර ගැනීමට ඇය පසු පස හඹා ගියේය. විශ්ණු දෙවියන් මෙය දැක ස්ත්‍රී වෙසක් මවාගෙන ඍෂිවරයා යන මග ගසක අත්තක බැඳි ඔංචිල්ලාවක් පදිමින් සිටින්නට විය. ඔංචිල්ලාව පදින තරුණිය දුටු ඍෂිවරයා උමා දේවිය පිළිබඳ අදහස අතහැර ඔංචිලි පදින තරුණිය කරා ඇඳී ගියේය. එවිට මේ ඍෂිවරයා තමන්ගේ උගුලට හසුවූ බව දැනගත් හෙයින් සිය අතෙහි කුඩු බිළිඳකු මවා පා තිබේ. ඉන් ලැජ්ජාවට පත් ඍෂිවරයා වෙනතකට ගිය අතරම, එසේ ජන්මය ලද කුමරුන් "කරේනාරේ" ලෙසට නම් තබන්නට විය. ඒ දකුණු අතින් උපන් හෙයිනි. පසුව එම නාමය කයියනාරේ , අයියනාරේ, අයියනායගම්, අයියනායක ලෙස ක්‍රමිකව වෙනස්ව වත්මනයේ හඳුන්වන අයියනායක යන නාමය ලැබී ඇති බැව් ජනප්රවාදයේ සඳහන් වන්නකි.
එමෙන්ම ශිව-විශ්ණු දෙදෙනාගේ සම්බන්ධයේ ප්‍රතිඵලය අයියනායක බවටද ගම්මුන් අතර මතයක් පවතී. එමෙන්ම ඊශ්වර දෙවියන් මෝහිණිය දැක ඇය කෙරෙහි කාමාශාවෙන් වැළඳගැනීමෙන් දරුවකු උපන් අතර ඔහු හරිහර නමින් ප්‍රකට වූ අතර පසුව අයියනායක විය. මෙලෙසින්ම අයියනායක දෙවි කවිවලට අනුව උපුල්වන් දෙවියන්ගෙන් වරම් ලබාගෙන මෙහි පැමිණි බවටත්, ඔහු උපුල්වන් දෙවියන්ගේ බලයෙන් මවගේ දකුණු ඇලය පලාගෙන උපන් බවත් කියැවේ.
අයියනායක දෙවියන් මුළු වන්නියටම අරක් ගත් දෙවියන් වන අතර ඔහු පිදීමට විවිධ ස්ත්රෝත්ර, බුලත් මඬේ, බුලත් තිහං, බුලත් පිදුම් වැනි විශේෂ පූජා චාරිත්‍ර කරනු ලබයි. මොහුහේ ආයුධය වූ කලී ගිනි සළඹක් වන අතර වාහනය සුදු ඇතෙකි. කාල වර්ණයෙන් යුත් දේහයකට උරුමකම් කියන අයියනායක දෙවියන්ට ගෞරව දැක්වීමට මුට්ටි මංගල්‍යය, වැව් අලුත් සහල් මංගල්‍යය ආදිය පවත්වනු ලබයි.


2 comments:
❤️
❤️❤️
Post a Comment