Search This Blog

Friday, October 11, 2024

භවයන් දහතුනකදී ඉපිද යන එන මං අහිමි වූ මංගර දෙවියෝ

"මංගර" එහෙමත් නැත්නම් මංගාර නමින් හඳුන්වන දෙවියන් අතීතයේ කැලෑබද ප්‍රදේශයන්වල ජීවත් වූ මිනිසුන් මෙන්ම තමන් ඇති කරන සතුන්, හරකා බාන ආදිය වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට පිහිට පැතූ දෙවි කෙනෙකු විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම රුහුණු පුරයට බිංතැන්න ප්‍රදේශයට අණසක පතුරුවන ප්‍රාදේශීය දෙවි කෙනෙකු ලෙසත් සැලකෙන මංගර දෙවියන් ගව පට්ටලවලට හා කිරි එළදෙනුන්ට සම්බන්ධ දෙවි කෙනෙකු ලෙසත් දඩයක්කරුවන්ගේ දෙවියන් ලෙසත් සලකේ. මිනිසුන්ට නොපෙනී ගොපල්ලකු මෙන් ගවයන් පසු පස යන බවට ජනයා අතර විශ්වාසයක් පවතී. පෙර කල රුහුණේ මී කිරි කර්මාන්තය රඳා පැවතුණේ මෙම දෙවියන් කෙරෙහි තබා ඇති විශ්වාසය පදනම් කරගෙන බව ද පවසයි. මංගර දෙවියන්ගේ ද උප්පත්තිය පිළිබඳව විවිධාකාර මතිමතාන්තර ඇති අතර ඇතමෙකු මෙම දෙවියන් ඉන්දියාවේ උපත ලද්දකු ලෙසින් ද, තවත් සමහරකු  ලංකාවේ උපත ලැබූ අයකු බව ද සඳහන් කරයි. වඩාත් ප්‍රචලිත ව ඇත්තේ ඔහු ලක්දිව මායා රටේ උපත ලද්දකු ලෙසින් ය.  

පහතරට ශාන්තිකර්ම තුළ සුවිශේෂී ස්ථානයක් මෙම මංගර දෙවියන් හිමි කරගෙන සිටියි. අතීතයේ  පුද පූජා කිරීමට මෙම දෙවියන්ට නිශ්චිත දේවාලයක් නොමැති වුවත් වර්තමානය වන විට මීගමුව, කදිරගොඩ, බලන්ගොඩ ආදී ප්‍රදේශවල මංගර දෙවියන් උදෙසා ඉදිවූ දේවාල කිහිපයක් පවතියි. එමෙන්ම කදිරගොඩ ප්‍රදේශයේ මංගර දෙවියන් උදෙසා මී ගවයෙකු සරසා පෙරමුණේ තබන වාර්ෂික පෙරහැර මංගල්‍යයක් සහ මංගර මඩුව නමින් දේව යාගයක් ද පවත්වනු ලැබේ. 

මංගර දෙවියන්ගේ උත්පත්ති වාර දහ තුනක් පිළිබඳ මංගර කන්නලව්වේ සහ මංගර සැහැල්ලේ සඳහන් වේ. ආත්මභවයන් කිහිපයකදීම මතු බුදු බව පතා ඇති බව ද එහි කියැවේ. එහි එන එක් උප්පත්ති කතාවක් නම් අඳුන්ගිර පර්වතයෙහි සිල් රකින පත්තිනි දේවියගේ සීල් බලය විමසාලීමට පැමිණි ශක්‍රයාට දන් දීමට අඳුන්ගිරි පර්වතය පයෙන් මඬ කොට එහි සුවඳ ඇල් වී ඉස ඉන් ලද අස්වැන්න නෙළා රන් බඳුනක දමා ගරන විට එහි තිබී හමු වූ මුතු ඇටයකින් සිදු වූ උපතයි.  

එමෙන්ම මංගර දෙවියන්ගේ දහතුන් වන ආත්මයේදී  මී ගවයෙකුගෙන් පහර කා මිය ගිය පසු නැවත ඔහුගේ පණ ලබා ගැනීමට කිරි ඉතිරවීමට අවශ්‍ය වූ විට ඊට අවශ්‍ය කහ ලබා දී ඇත්තේ පත්තිනි දේවිය විසින් බව සඳහන් වේ. මංගර දෙවියන්ගේ උත්පත්තිය සමඟ පත්තිනි දේවතාවියගේ සමීප සබඳතාවක් ඇති බව මින් ප්‍රකට වන්නකි. එමෙන්ම මංගර දෙවියන්ගේ උප්පත්ති වාර දහතුනට අනුව, එක් වරක් පත්තිනි දේවිය විසින් ගරන ලද සහල්වල තිබී හමු වූ මුතු කැටයක් මඟින් ද, කිතල්වර නම් රජෙකුගේ උර මඬල පලාගෙනද, මහාකෙල නම්  නා රජුගේ චින්තා මාණික්‍යයෙන්ද, ශක්‍රයාගේ රන්පොත ලියූ රුවන් පන්හිඳේ මුදුන් කොත් මාලාවෙන්ද, ජලයෙන් ද, අනෝතත්ත විලේ මානෙල් මල් දහසකට මැද්දේ වූ  මුදුන් මලේ රේණුවකින් ද, මායා රටේ මායා රජුට දාව අග බිසවගේ කුසින් ද, තරු රැසින්ද, දිය නළයෙන් ද, සඳ රැසින් ද, හිරු රැසින් ද, අකුණකින් ද සහ දහතුන්වන වර මායා රජුගේ අග බිසවගේ කුසින් "බුදු සිරු" නමින් ද උපත ලද බව කියැවේ. 

පුංචි සන්ධියේ සිටම කැලයට ගොස් වන සතුන් සමඟ ඇති දැඩි වූ බුදු සිරු දඩයමට මෙන්ම වන සතුන් ඇල්ලීමට ද බොහෝ දස්කම් පෑ අයෙකි. බුදු සිරුගේ දස්කම් ලොව පුරා පැතිර ඇත. මේ අතරතුර කදිරාගොඩ නම් ප්‍රදේශයේ මිනිසුන්ට හානි කරමින් සැරිසරන කුළු මීමෙකු පිළිබඳ සැල වූ බුදු සිරු පිරිවරද සමඟින් නැව් නැග විත් උස්සන්ගොඩින් ලංකාවට ගොඩබැස ඇති බව සඳහන් වේ. 

උස්සන්ගොඩ සිට කදිරාගොඩ ප්‍රදේශයට පැමිණි මංගර සහ පිරිස මහන්සි හැරීමට නුග සෙවණක නතර විය. එම පිරිසෙහි සිටි එඬේර කුමරෙකු කුළු මීමා පිළිබඳව සෙවීමට පිටත් කොට බුදු සිරු ඇතුළු අනෙක් පිරිස එම නුග ගසෙහි තිබූ මියක් කැඩීමට ප්‍රයත්න දැරූවද එය ද කළ නොහැකී වූ නිසා බුදු සිරු විසින් නුග ගස කපා මීය පිරිස අතරේ බෙදා ඉන් කොටසක් එඬේර කුමරුන්  හටද ඉතිරි කොට තිබුණි. 

පෙර කලෙක උපන් කිරි වෛරයක් හේතුවෙන් පලි ගැනීමේ අදහසින් බුදු සිරු පැමිණෙන තෙක් ඔහුගේ සහෝදරයා නුග ගසෙහි අරක් ගෙන සිටි අතර නුග ගස කැපීමත් සමඟ කෝපයට පත් ඔහු මීමෙකුගේ වෙස් ගෙන අසල සිටි ගව රැළකට ඇන මරා දමන්නට විය. බුදු සිරු එය දැක මංගර මන්ද ගෙන මීමා ඇල්ලීමට උත්සාහ කළ ද මීමා බුදු සිරු ඇතුළු සහචර පිරිසට ද ඇන මරා දැමුවේය. කුළු මීමා පිළිබඳව සෙවීමට කදිරගොඩට ගිය එඬේර කුමරුන් මෙය දැක කෝපයට පත්ව සිය පිරිවර මැරූ පලිය ගැනීමට මීමා සමඟ සටන් කොට මීමා මරා දැමීය. 

මරන ලද මීමාගේ කකුල් හතර කණු ලෙසට ගෙන ඉල ඇට යොදාගෙන කිරි මැස්සක් සාදා දණහිස්වලින් ලිප්ගල් බැඳ, මීමාගේ සම උඩු වියනටද බැඳ, බඩවැල් වටතිරයට ගත් එඬේර කුමරුන් මීමාගේ හිස් කබල කිරි හාලියටත් ගෙන මීමාගේ මොළය මිරිකා ගත් දියරයෙන් කිරි ඉතිරවීය. ඊට අවශ්‍ය කහ පත්තිනි දෙවියන් විසින් ලබා දුන් බවද කියැවේ.  එසේ උතුරවන ලද කිරි පිරිසට ඉසීමෙන් බුදු සිරු ඇතුළු පිරිස නැවත ජන්මය ලද අතර එතැන් සිට බුදු සිරු මංගර නම් විය. මිය ගිය මීමාගේ ඇටකටු, සම් ආදියට ද කිරි ඉසීමෙන් මීමා ද යළි ජීවය ලද අතර එතැන් පටන් මීමා මංගරගේ වාහනය බවට පත් විය. කිරි ඉතිරවීමේ ආරම්භය ද මෙය බවට සැලකෙන අතර සබරගමු සම්ප්‍රදායේ කිරිමඩු ශාන්තිකර්මය සැකසී ඇත්තේ ද මෙය පදනම් කොට ගෙන බව සැලකේ. එමෙන්ම ගොපළු යකා ලෙස ගව පාලනයේදී හඳුන්වන්නේ එඬේර කුමරුන් බවට ද විශ්වාසයක් පවතී.

6 comments:

Arunika Rathnayaka said...

✍️🖤

Sachini Imalsha said...

😍😍

Anonymous said...

❤️❤️🫣

Anonymous said...

❤️❤️❤️

Anonymous said...

❤️❤️❤️

Anonymous said...

👍

උඩරට නර්තන සම්ප්‍රදාය ගුරු කොට ගෙන සිදු කරන උඩරට සාම්ප්‍රදායික ශාන්තිකර්ම

ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියනු ලබන ශ්‍රී ලංකාව වූ කලී සංස්කෘතිකමය වශයෙන් ඉහළින්ම වැජඹෙන රටකි. ශ්‍රී ලංකාව තුළ පාරම්පරික  සංස්කෘතිකමය දායාදයන...