Search This Blog

Wednesday, October 30, 2024

මේ මිහිතලයේ උප්පත්තිය ලබන ජීවින් කොහොමද මනුස්ස අමනුස්ස කියල බෙදෙන්නේ ?

මේ ලෝකයෙහි ජීවත් වන්නේ මිනිසුන් වන අප පමණක් නොවේ. විවිධාකාර වූ සත්ත්වයෝ මේ මිහිතලය මත ජීවිකාව ගෙන යති. නමුත් මේ සෑම ජීවි කාණ්ඩයකටම වඩා මිනිසා මේ මිහිමත සුවිශේෂි වේ. මිනිසාගේ කායික දේහය ගත් කළ සෘජුව දෙපයින් සිට ගැනීමට හැකි වීම, ඇවිදීම, දේහ ස්කන්ධයට සාපේක්ෂව සිතීමට හැකි විශාල මොළයක් තිබීම, අදහස් ප්‍රකාශ කිරීම වැනි සුවිශේෂී ලක්ෂණ රාශියකින් සමන්විත වේ.

එසේම මෙලොව මනුෂ්‍යයන් නොවන අමනුෂ්‍යයන් වශයෙන් හඳුන්වන පියවි ඇසට නොපෙනෙන කාණ්ඩයක් ද  සිටියි. බොහෝ විට මිනිසුන්ට සමාන රූපකායක් ඇති ජීවි කොට්ඨාසයකි. සිංහල භාෂාවෙන් මොවුන් අමනුෂ්‍යයින් ලෙස නාමකරණය කළ ද බටහිර ජාතීන් මොවුන් හඳුන්වනුයේ ව්‍යාජ මිනිසුන් හෝ මිනිස් වෙස් ගත්තන් ලෙසිනි. මෙවන් අමනුෂ්‍යයින් වර්ග කිහිපයක් හඳුනාගත හැකිය.

  • දෙවියන් 

බුද්ධ දේශනාව අනුව 'දේව' යන ව්‍යවහාරයෙන් හඳුන්වනුයේ සදෙව් ලෝකවල ඉපිද දිව්‍යමය සැප සම්පත් විඳින උසස් ජීවි කොට්ඨාසයකි. මෙම දෙවිවරු උපදින දිව්‍යලෝක හයක් පිළිබඳව සඳහන් වේ. 

1. චාතුම් මහා රාජිත දිව්‍ය ලෝකය

2. තාවතිංසා දිව්‍ය ලෝකය

3. යාමය දිව්‍ය ලෝකය

4. තුසිත දිව්‍ය ලෝකය

5. නිම්මාණරති දිව්‍ය ලෝකය

6. පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකය

මේවාට සදිව්‍ය ලෝක ලෙස ද පවසයි. එසේම මෙම දිව්‍ය ලෝකවල උප්පත්තිය ලබන දෙවිවරුන්ට අධිපති වන දෙවිවරුද සිටිති. 

1. චාතුම්මහා රාජිත දෙව්ලොවට අධිපති වන්නේ සතරවරම් දෙවිවරුය.(ධ්‍රථරාෂ්ඨ විරූඨ, විරූපාක්ෂ,වෛශ්‍රවණ )

2. තාවතිංසායත්ථ සහ  චාතුම්ම්හාරාජිත දෙදෙව් ලොවට අධිපති වන්නේ සත්දෙව් මහ රජුය. 

3. යාම දෙව්ලොවට අධිපති වන්නේ සුයාම දෙවිඳුන් වේ. 

4. තුසිත දෙව්ලොවට අධිපති සංතුෂිත දෙවියන් ය. 

5. නිම්මාණරති දෙව්ලොවට අධිපති සුනිම්මිත දෙවියන් වේ.

6. පරනිම්මිත වසවර්ති දෙව්ලොවට අධිපති වසවර්ති දෙවියන්ය.

  • යක්ෂයෝ 

ඈත අතීතයේ සිටම මිනිසුන්ගේ ඇදහිලි විශ්වාසයන්හි යක්ෂ සංකල්පය ප්‍රබලව පැවතුනි. අතීතයේ මෙන්ම වර්තමානයේදීත් ලෙඩ දුක් කරදර වලින් බේරීමට යක්ෂ බලවේගයන්ට යාග හෝම ආදිය කරන්නට විය.  එමෙන්ම දෙවියන්ගේ ප්‍රතිවිරුද්ධ අමනුෂ්‍ය පාර්ශවය මෙම යක්ෂයන්ය. දෙවි දේවතාවුන් මෙන්ම යක්ෂයන් පිළිබඳව ද ශ්‍රී ලාංකික සමාජය තුළ විවිධාකාර පුරාවෘත්ත සහ ජනප්‍රවාද රාශියක් ඇත. මෙරට ග්‍රාමීය ප්‍රදේශවල යක්ෂයන් උදෙසා දොළ පිදේනි දීම් සහ තොවිල් නැටීම ආදිය එදා මෙන් නැතත් කලාතුරකින් හෝ සිදු කරන බව දැකිය හැකිය. වර්තමානයේ දී ලාංකික සංස්කෘතිය තුළ ව්‍යවහාර කෙරෙන "යක්ෂයා" හෝ "යකා" එදා හෙළයේ විසූ එක් ජන කොට්ඨාසයක් වන "යක්ෂ ගෝත්‍රිකයන්ට" වඩා බෙහෙවින් වෙනස් අමනුෂ්‍යයින් කොට්ඨාසයකි. 

  • රාක්ෂයෝ 

දැඩි ගතිගුණවලින් යුක්ත යක්ෂයන් කොට්ඨාසයකි. බොහෝ විට විරූපී රූපකායකින් සමන්විත වන අතරම අවස්ථාව අනුව විවිධ වේශයන්ගෙන් පෙනී සිටින බව ද කියයි. 

  • ප්‍රේතයෝ

බුදු දහමේ දැක්වෙන ආකාරයට පියවි ඇසට නොපෙනෙන ධාතු වර්ගයකින් නිර්මිත විවිධ ප්‍රමාණයේ රූපකායකින් යුක්ත සත්ත්වයන් කොට්ඨාසයක් ප්‍රේත නොහොත් පෙරේත ලෙස හඳුන්වයි. සත්ත්වයින් උප්පත්තිය ලබන අතිශයින්ම කටුක සහ දුක්ඛිත ලෝක වන "නරක" හතරෙන් එකක් වන්නේ ද පෙරේත නරකයයි. පෙරේත ආත්මයක උප්පත්තිය ලබන්නන්ට ආහාර නොමැතිව හෝ පානය කිරීමට දිය බිඳක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. මෙම අමනුෂ්‍යයන් ගත කරන්නේ ද අතිශයින් පිළිකුල් සහගත අපිරිසිදු ජීවිතයකි. ඔවුන් මිනිසුන්ගේ මල, මුත්‍ර, කැහි, සොටු සහ කබ පවා ආහාර වශයෙන් ගන්නා බව මිනිසුන් විශ්වාස කරයි.

  • භූතයෝ

ප්‍රාණය නිරුපද්‍රිත අයෙකුගේ ආත්මය වෙනත්  ආත්මයක නොඉපද අවකාශය තුළ අරමුණක් නොමැතිව සැරිසරයි. මෙම අමනුෂ්‍යය කාණ්ඩය ඇතැම් විට හොල්මන් , අවතාර ලෙසින් ද හඳුන්වනු ලබයි.

Saturday, October 12, 2024

කොහොඹා කංකාරියේ එන කොහොඹා දෙවිවරු..

උඩරට නැටුමේ මුදුන් මල්කඩ ලෙස පිදුම් ලබන කොහොඹා කංකාරියේ එන කොහොඹා දෙවිවරු තුන් කට්ටුවක් සිටින බව සඳහන් වන්නකි. හෙළ දේව වංශයේ කොහොඹා දෙවිවරු තිදෙනෙක් ගැන කියැවේ. ඒ "පරණ කොහොඹා" , "මහ කොහොඹා" සහ "අලුත් කොහොඹා" යන තිදෙනාය. මොවුන් "කොහොඹා තුන් කට්ටුව" යනුවෙන් ද හඳුන්වනු ලබයි. මේ තුන් කට්ටුව ඉන්දියාවේ සිට ලක්දිවට සංක්‍රමණය වී ඇති බැව් "කොහොඹා කංකාරියේ සඳහන් වේ. කොහොඹා දෙවියන්ගේ උප්පත්තිය පිළිබඳව විවිධ මතිමතාන්තර පවතී. 

රාවණා විසින් සීතාව පැහැරගෙන ගිය බවට ජනප්‍රවාදය තුළ මතයක් පවතී. එසේ පැහැරගෙන යාම නිසා සීතාගේ පතිවත පිළිබඳව විශ්ණුට සැක පහළ වෙනවා. ඒ නිසාම සීතාව වනය තුළද මරා දැමීමට සමන් දෙවියන්ට භාර කරනවා. නමුත් සමන් දෙවියන්ට සීතාව මැරීමට කැමති වෙන්නෙ නෑ. ඒ නිසා සමන් දෙවියන් සීතාට  අභය දානය දී ඇති බැව් සඳහන් වෙනවා. නමුත් විශ්ණුගේ ඉල්ලීම ඉෂ්ඨ කළ බව ඇඟවීමට වෙන අයෙකුගේ ලේ වලින් කඩුව තෙත් කරගෙන ගොස් විශ්ණුට සීතා මැරූ බව දන්වලා තියෙනවා. 

මේ අතරතුර සීතා වනයක කල් ගෙවන විට සීතා ගැබ් ගෙන සිටි නිසා වනය තුළදීම දරුවා බිහි කරන්නට සිදු වෙනවා. ඇයට ඍෂිවරයෙක් වනය තුළදී තමන්ගේ ආශ්‍රමයේ කාන්තාවන් ලවා උදව් උපකාරද ලබා දෙමින් දරුව හදා වඩා ගැනීමට සහය වෙනවා. දිනක් සීතා දේවිය ඵලවැල නෙලීමට වනයට ගිය අතරතුර තොටිල්ලේ සිටි දරුවා තොටිල්ලෙන් බිමට වැටෙනවා. දේව දරුවන් මිනිසුන්ට ඇල්ලීම අකැපැයි ලෙස සීතූ ආරාමයේ සිටි ඍෂිවරයා තොටිල්ලට මානෙල් මලක් දානවා. ඒ මලෙන් තවත් කුමරෙක් ඉපදෙනවා. ඵලවැල නෙලාගෙන ආරමයට පැමිණි සීතා දෙවිය මෙය දැක තොටිල්ල යට සිටි දරුවා දැක ඍෂිවරයාගෙන් දරුවන් දෙදෙනා ගැන විමසනවා. ඍෂිවරයා තවත් දරුවෙන් මවල පෙන්වනවා සීතා දේවියට. මේ සීතා දේවිය දරුවන් තිදෙනාම ඇති දැඩි කරනවා. මලෙන් උපන් කුමරෙකුත් සිටි නිසාවෙන් මලෙන් උපන් කුමරු සමඟ ඇති දැඩි උනු අනිත් කුමාරවරුන් දෙදෙනාත් ඇතුළුව මේ තිදෙනා මලේ දෙවිවරු තුන් කට්ටුව ලෙස  හඳුන්වනවා. කොහොඹා දෙවියන් ලෙස හඳුන්වන්නේද මේ මලේ දෙවියන්ට බවට මතයක් ජනප්‍රවාදය තුළ පවතී. එමෙන්ම කොහොඹ ගහට අධිපති නිසාවෙන් කොහොඹ දෙවියන් ලෙස හඳුන්වන බවද කියැවේ. 

එමෙන්ම මේ කොහොඹ දෙවියන්ගේ උප්පත්තිය  පිළිබඳව තවත් මතයක් පැවතෙනවා. දඹදිව බරණැස් නුවර රජතුමාගේ දුව චන්ද්‍රවතී කුමරියත් කලිඟු රටේ රජතුමාගේ පුත් සුරඹා කුමරුන් අතරත් රහස් පෙම් පලහිලව්වක් ඇති වෙනවා. කාලයාගේ ඇවෑමෙන් චන්ද්‍රවතී කුමරිය ගැබ් ගැනීමක් සිදු වෙනවා. ඒ නිසාම කුමරුත් කුමරියත් යන දෙදෙනාම රහසේම කැලයට පලා යනවා. ඒ යන අතරතුරේදී කොහොඹ ගහක් යටදී මේ දරුවා බිහි කරනවා. කොහොඹ ගසක් යට උපන් හෙයින් මේ පුත් කුමාරුන්ට කොහොඹ දෙවියන් ලෙස පවසන බවට මතයක් පවතී.

මහා යාතිකාවේ සඳහන් වන ආකාරයට කොහොඹා දෙවි තුන් කට්ටුවේ එන අලුත් කොහොඹා ස්වේදේශීය දේවාත්මයක් වන අතර ලක්දිව වැලිහෙල නම් ප්‍රදේශයේ උපත ලැබූවෙකි. පරණ කොහොඹා ඉන්දියාවේ මධුරාපුර නුවර උපන්නෙක් වන අතර මහා කොහොඹා බරණැස්පුර උපන්නෙක් බවත් මහා යාතිකාවේ කියැවේ. 

වැලිහෙල නම් ගමේ උපන්නෙක් වන අලුත් කොහොඹා දෙවියන්ගේ මව වෙළඳ කුලයක උපන් ලෝකනාථා නම් කතකි. කොහොඹා කුමරු සත් අවුරුදු වයස සපුරන විටම තම දෙමාපියන් හැර යන බවට නැකැත්කරුවන් පවසා ඇත. කොහොඹා දෙවියන්ට ආදීවාසීන් සමඟ ද සබඳතාවක් පවතින පුරාවෘත්තවල සඳහන් වේ. 

කොහොඹා යකා ලෙසද හඳුන්වන කොහොඹා දෙවියන් සඳහා පවත්වනු ලබන අභිචාර විධිය කොහොඹා ශාන්තිකර්මයයි.  ඇතැම් පෙදෙස්වල කොහොඹා යක්කම යනුවෙන් ද මෙම අභිචාර විධිය හඳුන්වනු ලබයි. සතර කෝරළය, සත් කෝරළය, උඩුනුවර, යටි නුවර, හාරිස්පත්තුව, දුම්බර ආදී ප්‍රදේශවල මෙම  ශාන්තිකර්මය බහුලව සිදු කෙරේ.

උඩරට නර්තන සම්ප්‍රදාය ගුරු කොට ගෙන සිදු කරන උඩරට සාම්ප්‍රදායික ශාන්තිකර්ම

ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියනු ලබන ශ්‍රී ලංකාව වූ කලී සංස්කෘතිකමය වශයෙන් ඉහළින්ම වැජඹෙන රටකි. ශ්‍රී ලංකාව තුළ පාරම්පරික  සංස්කෘතිකමය දායාදයන...